ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය මේ මස 27 වනදා ජනතා අයිතියට

Spread the love

ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ (ඒ- 4) කොට්ටාව සිට ගාල්ල පින්නදූව දක්වා කොටස නොවැම්බර් 27 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට සියළු කටයුතු සූදානම් බව ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා අනාවරණය කළේය.

මෙම මාර්ගය කොට්ටාවේ සිට ගාල්ලට කිලෝමීටර 95ක දිගින් යුක්ත වන අතර ප්‍රවේශ මාර්ග 8කින් සමන්විත වේ. මංතීරු 4කින් සමන්විත මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 77ක් වැයකර ඇත. ඉදිරියේ දී මෙය මංතීරු 6ක් දක්වා වැඩි කිරීමට ඉඩම් පවරාගෙන ඇත. මෙම මාර්ගයේ ධාවනය කිරීම සඳහා වාහන වර්ග 4කට අවසර ලබා දී ඇත. ගමන් කෙරෙන දුර අනුව ගාස්තු අයකෙරේ. උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර 100ක් වන අතර මිනිත්තු 50ක් හෝ පැයක් තුළ ගාල්ලට ළඟා විය හැකි ය. මහා මාර්ගය විවෘත කිරීමත් සමඟ ත්‍රීවිල්, යතුරුපැදි, පාපැදි, අත් ට්‍රැක්ටර් සහ ට්‍රැක්ටර් ඇතුළු කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර පදිකයින්ට ගමන් කිරීම ද තහනම් ය. අනවසරයෙන් ඇතුළු වුවහොත් රුපියල් 5000ක දඩයක් අයකිරීමට සිදුවන බවත් සඳහන්ය.

මෙම මාර්ගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 500ක් යොදවන බව ද පැවසී ය. මාර්ගය පැය 24 පුරා විවෘත ව පවතින බැවින් හදිසි අවස්ථාවක දී ප්‍රථමාධාර ඒකකය, ගිනි නිවීමේ ඒකකය, ගිලන් රථ හැසිරවීම ශ්‍රී ලංකා පොලීසිය විසින් ම සිදු කරන බවත්, මාර්ගයේ හදිසි ඇමතුම් මධ්‍යස්ථාන 2ක් පිහිටුවා ඇති අතර ඕනෑ ම අනතුරක දී හෝ හදිසි තත්ත්වයක දී 1969 දූරකතන අංකයට දැනුම් දිය හැකිබවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

RSL

Related Posts