විශේෂඥ කතා 05ක් සමග ‘සැර වෛරස් ප්‍රභේදයේ අලුත්ම තත්ත්වය’

Spread the love

පසුගිය දා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ පුද්ගලයින් 05 දෙනාට ආසාදනය වී තිබූ ‘සැර වයිරසය‘ හෙවත් ‘ඩෙල්ටා ප්‍රභේදය‘  ඉන්දීය ධීවරයන් මාර්ගයෙන් මෙරටට ඇතුළු වූවා දැයි සෞඛ්‍ය අංශ වලට සැක මතු වී ඇතැයි ද ඒ අනුව මෙරට වෙරළ කලාපයේ තෝරාගත් ධීවර කණ්ඩායම්  පී .සී .ආර් පරීක්ෂණවලට අහඹු ලෙස  යොමුකිරීමේ වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇතැයි ද ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ සැර කොරෝනා වයිරස  ප්‍රභේදය  බොහෝ දුරට විදේශයක සිට පැමිණි පුද්ගලයෙකුගෙන්  මෙරටට ඇතුළු වන්නට ඇතැයි වෛද්‍ය විශේෂඥයන් සැක පළ කරන බව කී අමාත්‍යවරයා ඩෙල්ටා වයිරසය මෙරටදී නිර්මාණය වීමට තිබෙන සම්භාවිතාව  ඉතාම අඩු බවට එම විශේෂඥයන් සඳහන් කරන්නේ යැයි ද  ප්‍රකාශ කළේය.

පසුගිය දා දෙමටගොඩින් හමුවූ ආසාදිතයන්ගේ පළමු දෙවැනි හා තෙවැනි ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා බුද්ධි අංශ නිලධාරීන්ගේද සහය ලැබෙන බවත් ජයසුමන මහතා වැඩි දුරටත් සදහන් කළේය.

මේ අතර දෙමටගොඩින් හමුවූ ඩෙල්ටා ප්‍ර භේදය ආසාදිතයින් පස් දෙනාගේ වත්මන් තත්ත්වය පැහැදිලි කළ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා   සැර කොරෝනා  වයිරස  ප්‍රභේදය ආසාදනය වූ පස් දෙනාගෙන් තිදෙනෙකු මේ වනවිට සුවය ලබා සිටින බවත් අනෙක් දෙදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් සිටින බවත් කීවේය.

සැර වෛරසය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය නිසා සමාජය තුළ ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී  මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සදහන් කළේ , ‘‘රටේ තියෙන්නේ ඇල්ෆා ද, බීටා ද ගැමා ද ඩෙල්ටා ද කියන මොන සැර ප්‍ර භේදය තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කුමන  කොරෝනා  වයිරස  ප්‍රභේදය ආසාදනය වුවත් එම ආසාදනවලින් බරපතළ සංකූලතා ඇතිවී මියයෑම  දැනට මෙරටේ භාවිතා කෙරෙන  සියලුම එන්නත්වලින්  පැහැදිලිවම වළක්වනවා. මේ තත්ත්වය නිසා ඉහළ ප්‍රමුඛත්වය දක්වා කොරෝනා මර්දන  එන්නත වහා ලබා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා‘ යැයි ඇය පැවසුවාය. 

ඩෙල්ටා ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශවල පවතී දැයි සොයා ගැනීම සඳහා තවත් පරීක්ෂණ වටයක්  ආරම්භ කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දුන් බවත් එම පර්යේෂණ වටය ලබන සතියේදී අරඹන බවත්  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  ලංකාදීප ඊ පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.

‘‘ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා  මෙතෙක් භාවිතා කළ  “ඉලුමිනා” තාක්ෂණය වෙනුවට  ඔක්ස්ෆර්ඩ් නැනෝ තාක්ෂණය මේ පරීක්ෂණ සඳහා ප්‍රථම වතාවට  යොදා ගැනීමට නියමිතයි. එම නැනෝ තාක්ෂණය පෙර භාවිතා කළ තාක්ෂණයට වඩා  කාර්යක්ෂමතාව පැත්තෙන් ඉතා ඉහළයි‘‘ යැයි ද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  සඳහන් කළේය.

දෙමටගොඩින් හමුවූ ඩෙල්ටා ප්‍ර භේදය ආසාදිතයින් ගැන සදහන් කරමින් කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවේ ඩෙල්ටා  ප්‍රභේදය ආසාදනයවූ  පස් දෙනාම කොරෝනා  මර්දන එන්නත ලබා ගත් අය  නොවන බවට තොරතුරු හෙළිවී ඇති බවයි. 

මේ ආසාදිතයන් හමුවූ පවුලක  අයකු විදේශයක සිට මෙරටට  මීට සති තුනකට පෙර පැමිණ ඇති බව හඳුනාගෙන ඇතත් ඔහුට  කොරෝනා  ආසාදනය වී  ඇතැයි තහවුරු නොවූ බවද විජයමුණි මහතා පැවසුවේය.

Related Posts