වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවනවා – GMOA

Spread the love

ඉදිරි සතියේ එළඹෙන ආගමික උත්සව සමයේ ජනතාවට වන අපහසුතාවයත් සැලකිල්ලට ගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අද දින ප.ව 4.00 සිට අත්හිටුවන බව එම සංගමය විසින් අද (25) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණයට අනුව වෛද්‍ය පත්වීම් වලට සිදු කරන දේශපාලන මැදිහත්වීම් වලට විරෝධය පාමින් පසුගිය දෙසැම්බර් 21 වැනිදා ආරම්භ කල දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය (4 වන දිනයටත්) අද දක්වා ක්‍රියාත්මක විය.

සෞඛ්‍ය අමාත්‍යතුමන් සමඟ දෙසැම්බර් 22 වැනිදා පැවති සාකච්ඡාවෙන් පසු ඊයේ දිනයේදි, සෞඛ්‍ය අමාත්‍යංශයේ විසඳුම් දැක්වෙන ලිපියක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් අප වෙත ලැබීමට සලස්වා ඇත. අද දින රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබාදුන් විසඳුම් සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කරන ලදී.

1.      සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ මැදිහත්වීමෙන් විශේෂඥ වෛද්‍ය මාරු මණ්ඩල වල තීරණයට පටහැනිව සැකසු විශේෂඥ පත්වීම් ලැයිස්තුව නැවතත් සියළු පාර්ශවකරුවන්ගේ එකඟතාවයෙන් පුළුල් සාකච්ඡාවකින් අනතුරුව නිවැරදි කිරීමට තීරණය කර ඇත.

2.      පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සම්බන්ධව මාරු මණ්ඩල හා දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ගත යුතු තීරණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික දැනුම නොමැති බැවින් ඒ පිළිබඳ උපදෙස් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් විමසා සිටීමට සිදු වන බව දන්වා ඇත.

3.      විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩල පිළිබඳ ගැටළුවේදි ගත් ස්ථාවරයට වඩා පටහැනි ස්ථාවරයක් ශ්‍රේණි වෛද්‍ය  නිලධාරීන්ගේ මාරු මණ්ඩල වලදී සෞඛ්‍ය අමාත්‍යංශය දරණ බව නිරීක්ෂණය වේ.

4.      වෛද්‍ය ස්ථානමාරු සම්බන්ධ චක්‍රලේඛණයේ හා ගැසට් පත්‍රයේ නිර්වචනය කර ඇති “බලාත්මක දිනය” යන යෙදුම වෛද්‍ය පරිපාලකයින්ට වටහා ගත නොහැකි බැවින් මෙතෙක් කල් ක්‍රියාත්මක කළ “බලාත්මක දිනය” ගැන නැවතත් තේරුම් කර දෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව පෙන්වා දී ඇත.

5.      කැබිනට් මණ්ඩලය විසින් මින් මාස 6 කට පෙර වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ ගැටළු විසදීම සඳහා පත් කිරීමට තීරණය කළ ස්වාධීන කමිටුව සඳහා සභාපතිවරයෙක් ඔවුනට මෙතෙක් සොයාගැනිමට නොහැකි වූ බව පෙන්වා දී ඇත.

6.      පසුගිය අගොස්තු මාසයේ සති දෙකකින් ගැසට් කරන බවට පොරොන්දු වු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණ රෙගුලාසි ගැසට් කිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බව ඔවුන් පිලිගෙන ඇත.

7.      සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලනයේ දුර්වලතා නිසා විසඳිමට නොහැකි වු අපගේ ඉල්ලීම් විසඳිම සඳහා නිශ්චිත කාලවකවානුවක් පෙන්වා දීමට තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වී ඇත. ඒ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ එම විසඳුම් ක්‍රියාත්මක කරවන දිනයක් සඳහන් නොවීම තුලින් පැහැදිලි වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ඉහත පරිදි පිළිගෙන ඇති වෛද්‍ය පරිපාලකයන්ගේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරදි නිවැරදි කර ගැනීම සඳහාත්, මේ පිළිබදව දේශපාලන නායකයින්, ආගමික් නායකයින් හා මහජනතාව දැනුවත් කිරීම සඳහාත්, ඉදිරි සතියේ එළඹෙන ආගමික උත්සව සමයේ ජනතාවට වන අපහසුතාවයත් සැලකිල්ලට ගෙන අප වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අද දින ප.ව 4.00 සිට අත්හිටුවන නමුත්, යම් හෙයකින් එම වැරදි නිවැරදි කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වුවහොත් 2022 ජනවාරි මස 3 වැනි දින රැස්වන මධ්‍යම කාරක සභාව විසින් වඩාත් තීව්‍ර ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමු වීමේ තීන්දු තීරණ ගැනීමට, අද දින රැස් වූ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදි තීරණය විය.

Related Posts