ව්‍යාපෘති අනුමත කිරීමේ බලය ප්‍රාදේශීය මට්ටමට විමධ්‍යගත කෙරේ

Spread the love

පසුගියදා මහනුවර ගන්නෝරුව පැළෑටි සහ ජාන සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මහනුවර දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටුව හමුවේ අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ දිස්ත්‍රික්කවල සංවර්ධනය සදහා වෙන් කරන මුදල් යොදාගෙන සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති හඳුනාගැනීම, අනුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ බලය ප්‍රදේශීය සම්බන්ධීකරණ කමිටුවලට පවරන බවත් ඒ අනුව අමාත්‍යංශය මගින් නිකුත් කොට ඇති උපදෙස්වලට අදාළ ව තම කොට්ඨාසවලට අවශ්‍ය ම සංවර්ධන ව්‍යාපෘති හඳුනාගෙන කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

තවදුරටත් අමාත්‍යවරයා සඳහන් කලේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මෙම පියවරගෙන ඇත්තේ මෙතෙක් දිස්ත්‍රික් කමිටු සහ අමාත්‍යංශය සතු ව පැවති ව්‍යාපෘති අනුමත කිරීමේ බලය ප්‍රාදේශීය මට්ටමට විමධ්‍යගත කරමින් සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින් බවය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ  රාජපක්ෂ මහතා පැවසුවේ දිවිනැගුමේ දෙවන අදියර සඳහා බීජ පැකට් පහළොස් ලක්ෂයක් ලබාදෙන බවත් ගෙවතු වගාවේදී රසායනික පොහොර ලබා නොදෙන අතර ඒ සඳහා කාබනික පොහොර භාවිතයට ජනතාව හුරු කළ යුතු බවත් ය. ඉදිරියේ දී දින 21ක් වැඩුණු  එළවළු පැළ ලබාදෙන බව ද බීජ තවාන්වලට පොලිතින් ටනල් සහ ආරක්ෂිත දැල් සඳහා අමාත්‍යංශය මගින් සියයට 50ක මුදලක් අධාර වශයෙන් ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

සංචාරක කර්මාන්තය ඉලක්ක කොට ගෙන මහනුවර දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික කර්මාන්ත වැඩි දියුණු කළ යුතු බවත් පෙන්වා දුන් ඇමතිවරයා විශේෂයෙන් මහනුවරට ආවේනික විසිතුරු කර්මාන්ත ආශ්‍රිත ව සංචාරකයින් සඳහා සමරු වශයෙන් අලෙවි කළ හැකි නිෂ්පාදන දිරිගැන්වීමට බලාපොරොත්තු වන බවත් එමගින් විශාල විදේශ ආදායමක් උපයාගත හැකි බව ද පෙන්වා දුන්නේය.

RSL

Related Posts