ලැජ්ජයි ඕයි තමුසෙල ගැන!

Spread the love

වැලිකඩ සිරකරු ඝාතනය වූ කලී මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුත ම සමූහ ඝාතන අතරට එක්වන්නකි. එය වඩාත් තිරශ්චීන එකක් වන්නේ රාජ්‍ය විසින් වගකීම් දැරිය යුතු නිරායුධ සිරගත පිරිසක් ආයුධ බලය යොදා නිරනුකම්ප සහ අනීතික ලෙස ඝාතනය කිරීම නිසාවෙනි. 2015 යහපාලන රජය බලයට පත්වීම කෙරෙහි බලපෑ සාධක අතර මේ සිදුවීම ද වඩා ඉහළින් තිබුණු බව රහසක් නොවේ.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසුව ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයේ සිට වැලිකඩ සමූහ ඝාතනය දක්වා වූ කිසිදු චෝදනාවකට අදාළ නඩුවක් නිසි පරිදි විභාග වී අවසන් ඉමක් දක්වා නොගිය බව ද නොරහසකි. ඒ සියල්ල පුහු චෝදනා යැ යි විරුද්ධ පාර්ශ්වයේ චෝදනා නැගෙන තරමට සහ ඒවා බොරු යැ යි මහජනතාව පිළිගන්නා මට්ටමට ඊනියා යහපාලන ආණ්ඩුව මෙකී බරපතළ සිදුවීම්වලට අදාළ නඩු සම්බන්ධයෙන් ගෙන ගියේ මජර, දියාරු පිළිවෙතකි.

මේ ඊනියා යහපාලන ආණ්ඩුවේ ප්‍රබල තනතුරු දැරූවන් අතර නීතිඥ සුදර්ශන ගුණවර්ධන ද ප්‍රබලයෙකි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ධුරයේ සිට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ උපදේශක දක්වා පරාසයක තනතුරු දැරූ ඔහු කාලයක් තිස්සේ මෙරට මානව හිමිකම් ක්ෂේත්‍රයේද ක්‍රියාකරුවෙකු ලෙස ප්‍රකට ය. “සමබිම” ආදී ප්‍රකාශන ද “රයිට්ස් නව්” ආදී සංවිධානද ඔහුගේ නායකත්වයෙන් පීඩිත සහ මානව හිමිකම් උල්ලංඝනය වූවන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් ක්‍රියා කළේ ය. විශේෂයෙන් ඊනියා යහපාලන සමයේදී වැලිකඩ ඝාතන සිදුවීමට අදාළව ද එහි ඇති ක්‍රෑර සහ අනීතික බව සම්බන්ධයෙන් වූ රූපවාහිනී සාකච්ඡා ආදියට ද සහභාගි වූයේ ය. ඒ අතර අනෙක් සියලු නඩු සේ ම වැලිකඩ සමූහ ඝාතනය සම්බන්ධ නඩුව ද කෙළවර නොවී ඊනියා යහපාලන රජය කෙළවර වූයේ ය.

දැන් මෙසේ වූ නීතිඥ සුදර්ශන ගුණවර්ධන වැලිකඩ ඝාතනයට අදාළ නඩුවේ සාක්ෂි කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් එනම් සිරකරු ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා වෙනුවෙන් පෙනී සිට තිබේ. (එමිල් රංජන්ට නීතිඥයෙකුගේ සේවය ලබා ගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු.) නමුත් සුදර්ශන ගුණවර්ධනට මෙසේ පෙනී සිටිය හැකිද? මෙය කිසිසේත් ම තමන් වෘත්තියෙන් නීතිඥයෙක් නිසා එමිල් වෙනුවෙන් පෙනී සිටිනවා වැනි අබබ්බ ගොබ්බ කතාවලින් ගැලවිය හැකි ක්‍රියාවක් නොවන බව තරයේ විශ්වාස කරමු. ඔහු කර තිබෙන මේ අශිෂ්ට, තක්කඩි ක්‍රියාව මතින් පැන නැගෙන ප්‍රධාන ගැටලු දෙකක් තිබේ.

වැලිකඩ සිරකරු සමූහ ඝාතනයට සාධාරණය ඉටු කිරීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ මැදිහත්වීමේ සුජාතභාවය පළමුවැන්නයි. දෙවැන්න වසර ගණනාවක් සුදර්ශනලා විසින් පෙන්වා සිටි ඊනියා මානව හිමිකම් අයිතීන් සම්බන්ධ මැදිහත්වීම්වල සද්භාවය යි.

දැන් ඇරඹ තිබෙන්නේ මඩට බැසීමේ දෙවැනි අදියර බව පෙනේ. මේ සිදුවන්නේ ගෝඨාගමනය සියක් වසක් පවත්නේ යැ යි කියා වැල යන පැත්තට මැස්ස ගැසීමේ ක්‍රියාවලියක් ද විය හැකි ය. වන්නාට ය. මේ ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් ඉතිහාසය නිවැරදි විනිශ්චය දෙනු ඇති අතර අපට කීමට ඇත්තේ එක ම එක දෙයකි.

ලැජ්ජයි ඕයි තමුසෙල ගැන!

උපුටනය: සඳුන් ප්‍රියංකර විතානගේ ෆේස්බුක් පිටුවෙන්

RSL

Related Posts