රාජිතගේ අපේක්‍ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වුණේ නීතිඥයාගේ වරදින්..?

Spread the love

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන මත ඇප දිය නොහැකි චෝදනා යටතේ තමා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට දරන උත්සාහය වළක්‌වා අපේක්‍ෂිත ඇපයක්‌ මත තමා මුදාහරින ලෙස ඉල්ලා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ගොනු කර තිබූ අපේක්‍ෂිත ඇප අයෑදුම්පත කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ (20) ප්‍රතික්‍ෂේප කරන ලදී.

එම අපේක්‍ෂිත ඇප අයෑදුම්පත් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යැමට තරම් නීතිමය පදනමක්‌ නොමැති බවට නිගමනය කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය එම අයෑදුම්පතේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ද ප්‍රතික්‍ෂේප කළාය.

පෙත්සම්කරු ඉදිරිපත් කළ අපේක්‍ෂිත ඇප අයෑදුම්පත හා දිවුරුම් ප්‍රකාශය මගින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් උත්සාහ දරනුයේ කුමන වැරදි සම්බන්ධයෙන් දැයි නිශ්චිතව සඳහන් කර නොතිබීම බලවත් අඩුපාඩුවක්‌ බව සිය නියෝගය නිකුත් කරමින් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය පැවසුවාය.

ඇප පනතේ 21 වන වගන්තිය යටතේ අපේක්‍ෂිත ඇප අයෑදුම්පතක්‌ ඉදිරිපත් කළ විට එකී ඉල්ලීම කරනු ලබන තැනැත්තා අපේක්‍ෂිත ඇපමත මුදාහරිනු ලබනුයේ කුමන වැරදි සම්බන්ධයෙන් දැයි අධිකරණය සෑහීමකට පත්විය යුතු බවත් සිය නියෝගය මගින් සඳහන් කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය යම් හෙයකින් තම අධිකරණයට ඇප දිය නොහැකි වරදකට එකී තැනැත්තා අත්අඩංගුවට පත්වුවහොත් එකී වැරදි සම්බන්ධයෙන් අපේක්‍ෂිත ඇප නියෝගය ආවරණය වීමේ හැකියාව ඇති බවද පෙන්වා දුන්නාය.

එහිදී පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා කරුණු දක්‌වමින් පසුගිය නොවැම්බර් 10 වැනිදා තම සේවාදායකයා විසින් එකී මාධ්‍ය හමුව පවත්වනු ලැබුවේ ඔහු විසින් ගනු ලැබූ දේශපාලන තීන්දුවක්‌ මත බව අධිකරණයට කීවේය. මේ වන විට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා තමාට හෙළිකළ සුදු වෑන් සිද්ධිය හා රත්තරන් මංකොල්ලකෑම් සිද්ධීන් මාධ්‍ය හමුවක්‌ පවත්වා ජනතාව හමුවට ඉදිරිපත් කිරීමට ඔහු තීරණය කරනු ලැබූවේ ඔහු සතු භාෂණයේ නිදහස මත වන්නේ යෑයිද එහිදී පැවසූ ජනාධිපති නීතිඥවරයා එකී ප්‍රකාශවල වගකීම එම සැකකරුවන් භාරගත යුතුව ඇතැයි ද අධිකරණයට පැවසීය. එකී පුද්ගලයන් දෙදෙනා එවැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් බව තම සේවාදායකයා නොදැන සිටි බවත් එහිදී අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා ඔවුන්ට මුදල් ලබාදුන් බවට හා විදේශ රැකියා ලබාදී පවුල් පිටින් විදේශගත කරන බවට ඔවුන් ලබාදී ඇති ප්‍රකාශ තමන් ප්‍රතික්‍ෂේප කරනා බවද අධිකරණයට පැවසීය.

සිය සේවාදායකයා මිනීමරා, රජයේ දේපළ සොරකම් කර හෝ නොමැති බවද එහිදී පැවසූ ජනාධිපති නීතිඥවරයා පෙරකී සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත, මිනීමැරීමේ චෝදනා ඇතුළු චෝදනා රැසක්‌ යටතේ විමර්ශන සිදුකරනා බැවින් එවැනි චෝදනා යටතේ සිය සේවාදායකයාද අත්අඩංගුවට ගනු ඇතැයි සාධාරණ සැකයක්‌ පවතින බවද කීවේය. ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රවින්ද්‍ර චන්ද්‍රසිරි, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නුවන් අසංක, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න යන මහත්වරුන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්‌වීමට අධිකරණයට පැමිණ සිටියේය.

මේ අතර පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් ඊයේ (20) පස්‌වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට නැවත අපේක්‍ෂිත ඇප අයෑදුම්පතක්‌ ගොනු කළ අතර උදැසන අධිකරණයට පැමිණි රාජිත සේනාරත්න මහතා ඉන් අනතුරුව පස්‌වරු 4.25 ට පමණ අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගියේය. මෙම අපේක්‍ෂිත ඇප අයෑදුම ලබන සතියේ සලකා බැලීමට නියමිතය. ගෞරි නවරත්න මහත්මියගේ උපදෙස්‌ මත නීතිඥ මර්වින් සිල්වා, ගුණරත්න වන්නිනායක, වසන්ත වීරසිංහ, අෂාන් නවරත්න බණ්‌ඩාර ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමග ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් අමරතුංග, රවි කරුණානායක, අකිල විරාඡ් කාරියවසම්, චතුර සේනාරත්න ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්‌ ද අධිකරණයට පැමිණ සිටියහ.

RSL

Related Posts