රට වසා දැමීම ගැන රජයේ ස්ථාවරය කුමක්ද ? කෙහෙළිය හෙළි කරන කතාව

Spread the love

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මෙහිදී වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශකවරයා, ‘සෞඛ්‍ය අංශවලින් සිදුකරන කොරෝනා පාලන කටයුතුවලට අවශ්‍ය සියලු සහය රජය සහ අදාළ අංශ වලින් ලබා දෙනවා. නමුත් ජනතාව ද ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම තමයි කොරෝනා පාලනයට ඇති හොඳම විසඳුම එන්නත්කරණයයි. මෙරට 18ට වැඩි සියලු දෙනාට එන්නත්දීමේ ඉලක්කයක් රජයට තිබෙනවා. වසංගතය පාලනය කිරීම සදහා රට වසා දමා ඇදිරි නීතිය පනවන ලෙස ඉල්ලීමක් තිබෙනවා. ඒත් එවැනි තීන්දුවක් ගන්නේ අත්‍යවශ්‍යම තත්ත්වයක් ඇති වුණොත් පමණයි‘

සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ සංචරණ සීමා ආදී කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන නිර්දේශ පිළිගැනීමට රජය නිරතුරුව සූදානමින් සිටින බවයි.

‘‘රට වැසීම අවස්ථා කිහිපයක සිදු කළා. නමුත් ඒ අවස්ථාවලින් පසු රෝගය වර්ධනයවීම සිදු වුණා. අද ලෝකයේ ප්‍රවණතාව රටවල් වසා දැමීම නොවෙයි. රටවල් වසා දැමීමට එරෙහිව බොහෝ තැන් වල උද්ඝෝෂණ පවා ඇති වුණා‘

මහජන ඒකරාශීවීම් වළකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ සූදානමක් ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් රමේෂ් පතිරණ ඇමතිවරයා පැවසුවේ එසේ කරන්නේ නම් එහි අරමුණ කොරෝනා වසංගතය පාලනය කිරීම බවයි.

‘‘ගැසට් නිවේදන කාලීන අවශ්‍යතා මත වෙනස් වෙනවා. කොහොම වුණත් රජය එවැනි පියවරක් ගන්නේ සෞඛ්‍ය හේතු මත පමණයි‘ යනුවෙන් ද පැවසීය.

Related Posts