රටවටා ප්‍රමුඛ වෙළෙදපොළවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ප්‍රවණතා

Spread the love

සැප්තැම්බර් 03-09 සතියේ පිටකොටුව, නාරාහේන්පිට, දඹුල්ල, තඹුත්තේගම සහ නුවරඑළිය ඇතුළු දිවයින පුරා ප්‍රධාන තොග වෙළෙදපොළ රැසක සහල්, එළවළු සහ මාළු වර්ග රැසක තොග මිල ගණන්වල පහළ යාමක් වාර්තා වූ අතර දේශීය කරවල සැපයුම පහළයාම හේතුවෙන් බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල ගණන් සහ අස්වනු ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම සහ ඉහළ ගුණත්වයෙන් යුත් තොග වෙළඳපොළේ පැවතීම හේතුවෙන් බොහොමයක් පලතුරු වර්ගවල මිල ගණන් ඉහළයාමක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිරීක්ෂණය කළ හැකි විය.

වෙළෙදපොළ මිල ගණන් ස්ථාවර පවත්වා ගැනීමේ අරමුණින් රජය විසින් ප්‍රධාන වී නිෂ්පාදන ප්‍රදේශයන්හි සහ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පවතින වී, සහල් සහ සීනි තොග සොයා විමර්ශන ආරම්භ කිරීමත් සමග  සහ රජය විසින් සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම හේතුවෙන් සියලුම දේශීය සහල් වර්ගවල මිල ගණන් පහළ යාමක් වාර්තා විය.

එමෙන්ම වැලිමඩ ප්‍රදේශයෙන් දේශීය සැපයුම ඉහළ යාම හේතුවෙන් දේශීය හා ආනයනික අර්තාපල් මිල ගණන් පහළ යාමක් වාර්තා වූ අතර යල කන්නයේ අස්වනු නෙළීම වඩාත් තීව්‍රර වීම  නිසා සහ නිරෝධාන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන දිනවලදී  ආර්ථික මධ්‍යස්ථාන වෙත තොග සැපයුම ඉහළ යාම හේතුවෙන් එළවළු මිල ගණන් ද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණි.

තොග සැපයුම ඉහළයාම හේතුවෙන් බොහොමයක් මාළු වර්ගයන්හි තොග මිල ගණන් පහළ ගොස් ඇති අතර දේශීය කරවල සැපයුම පහළයාම හේතුවෙන් බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල ගණන් ඉහළ ගොස් ඇත.

අස්වනු ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම සහ ඉහළ ගුණත්වයෙන් යුත් තොග වෙළඳපොළේ පැවතීම හේතුවෙන් බොහොමයක් පලතුරු වර්ගවල මිල ගණන් ඉහළගොස් තිබුණි. කෙසේ වෙතත් උපරිම මිල පහළයාම 10%ක් ලෙස දිවුල් සඳහා වාර්තා වූ අතර විරකැටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවලින් ඉහළ සැපයුමක් පැවතීම එයට හේතු විය.

සහල්, එළවළු, පලතුරු, මාළු සහ කරවල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග රැසක තොග වෙළෙදපොළ මිල විශ්ලේෂණය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.

සහල්

ශ්‍රී ලංකා රජය විසින් සහල් සඳහා අළුතින් පනවන ලද උපරිම සිල්ලර මිල සීමාවන් හේතුවෙන් සියලුම දේශීය සහල් වර්ගවල තොග මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණි. දෙවන ශ්‍රේණියේ නාඩු සහ දෙවන ශ්‍රේණියේ සම්බා මිල ගණන් පිළිවෙළින් 10%කින් සහ 8%කින් පහළ ගොස් තිබුණු අතර ඒවායේ මිල පරාසයන් පිළිවෙළින් කිලෝවකට රු.95.00-105.00ක් සහ රු.102.00-120.00ක් විය. සුදු කැකුළු සහ රතු කැකුළු මිල ගණන් ද පිළිවෙළින් 7%කින් සහ 1%කින් පහළ ගොස් තිබුණු අතර එම දෙවර්ගයේම මිල පරාසය කිලෝවකට රු.90.00-95.00ක් ලෙස සටහන් විය.

පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී සියලුම දේශීය සහල් වර්ගවල වර්තමාන තොග මිල ගණන් 3%-7% දක්වා පරාසයක ඉහළ ගොස් තිබුණු අතර උපරිම මිල ඉහළයාම දෙවන ශ්‍රේණියේ නාඩු සඳහා වාර්තා විය.

එළවළු

යල කන්නයේ එළවළු  අස්වනු නෙළන සමයේ පවතින ඉහළ සැපයුම හේතුවෙන් එළවළු වර්ග බොහොමයක මිල ගණන් පහළ ගොස් ඇත.

උඩරට එළවළු වර්ග පිළිබඳව සලකා බැලීමේදී, වැලිමඩ නිෂ්පාදන ප්‍රදේශවලින් ලැබෙන ඉහළ සැපයුම හේතුවෙන් එළවළු වර්ග සියල්ලේම මිල ගණන් පහළ ගොස් පැවතුණි. බෝංචි සහ ලීක්ස් දෙවර්ගයේම මිල ගණන් 23%කින් පහළ ගොස් තිබුණු අතර නෝකෝල් හැර අනෙකුත් සියලුම උඩරට එළවළු වර්ගවල මිල ගණන් 8%-11% අතර පරාසයකින් පහළ ගොස් තිබුණි. තවදුරටත් නෝකෝල් මිල 1%කින් පහළ ගොස් ඇත.

කෙසේ නමුත් තත්ත්වයෙන් ඉහළ තොග සූරියවැව ප්‍රදේශයෙන් ලැබීම හේතුවෙන් තක්කාලි මිල 11%කින් ඉහළ ගොස් තිබුණි. තවදුරටත් නුවරඑළිය සහ තලවාකැලේ ප්‍රදේශවලින් තත්ත්වයෙන් ඉහළ තොග ලැබීම හේතුවෙන් මාළු මිරිස් මිරිස් මිල 8%කින් ඉහළ ගොස් ඇත.

පහතරට එළවළු පිළිබඳව සලකා බලනවිට දී ඇඹිලිපිටිය තඹුත්තේගම, නොච්චියාගම, දඹුල්ල සහ සුරියවැව ප්‍රදේශවලින් ලැබුණු ඉහළ සැපයුම හේතුවෙන් වැටකොළු සහ මෑකරල් හැර අනෙකුත් සියලුම එළවළු වර්ගවල මිල ගණන් පහළ ගොස් තිබුණි. ඇඹිලිපිටිය සහ තඹුත්තේගම ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම හේතුවෙන් පතෝල ද මොණරාගල සහ දඹුල්ල ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම නිසා වට්ටක්කා  ද යන දෙවර්ගයේම මිල ගණන් 30%කින් පහළ ගොස් තිබුණි. මීට අමතරව ඇඹිලිපිටිය, තඹුත්තේගම සහ බොහොමයක් ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම හේතුවෙන් පිපිඤ්ඤා මිල 27%කින් පහළ ගොස් ඇත. බණ්ඩක්කා, අළු කෙසෙල් සහ කරවිල මිල ගණන් පිළිවෙළින් 17%, 8% සහ 5%කින් පහළ ගොස් තිබුණු අතර ඇඹිලිපිටිය සහ තඹුත්තේගම ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම ඊට හේතු විය. තවදුරටත් මන්නාරම, ත්‍රිකුණාමලය සහ දඹුල්ල ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම හේතුවෙන් මුරුංගා මිල 6%කින් පහළ ගොස් ඇති අතරම වම්බටු මිල 2%කින් පහළ ගොස් තිබුණි. කෙසේ නමුත් පුත්තලම් ප්‍රදේශවලින් ලැබුණු සැපයුම පහළයාම නිසා මෑකරල් මිල ද තත්ත්වයෙන් ඉහළ තොග බේරුවල, හොරණ සහ හංවැල්ල ප්‍රදේශවලින් ලැබීම හේතුවෙන් වැටකොළු මිල ද පිළිවෙළින් 4% සහ 3%කින් ඉහළ ගොස් තිබුණි.

මේ අතර නොච්චියාගම ප්‍රදේශයෙන් තත්තවයෙන් ඉහළ තොග ලැබීම හේතුවෙන් අමු මිරිස් මිල 22%කින් ඉහළ ගොස් තිබුණි.  කෙසේ නමුත් අම්පාර සහ මොණරාගල ප්‍රදේශවලින් ලැබුණු සැපයුම ඉහළයාම හේතුවෙන් දෙහි මිල 24%කින් පහළ ගොස් ඇත.

පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී එළවළු වර්ග බොහොමයක තොග මිල ගණන් පහළ ගොස් ඇති අතර උපරිම මිල පහළයාම අළු කෙසෙල් සඳහා 63%ක් ලෙස සටහන් විය.

පොල්

ලොකු සහ කුඩා පොල් දෙවර්ගයේම මිල ගණන් පිළිවෙළින් 1%කින් සහ 6%කින් පහළ ගොස් ඇති අතර ඒවායේ මිල පරාසයන් ලොකු පොල් ගෙඩියක් සඳහා ගෙඩියකට රු.70.00-71.00ලෙස ද, කුඩා පොල් ගෙඩියක් රු.60.00-62.00ක් ලෙස වාර්තා විය.  පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී ලොකු පොල් ගෙඩියක මිල 1%කින් ඉහළ ගොස් ඇති අතර  කුඩා පොල් ගෙඩියක මිල  4%කින් පහළ ගොස් ඇත.

පලතුරු

අස්වනු ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම සහ ඉහළ ගුණත්වයෙන් යුත් තොග වෙළඳපොළේ පැවතීම හේතුවෙන් බොහොමයක් පලතුරු වර්ගවල මිල ගණන් ඉහළගොස් තිබුණි. උපරිම මිල ඉහළයාම 9%ක් ලෙස විශාල ප්‍රමාණයේ අන්නාසි සඳහා වාර්තා වූ අතර කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ අන්නාසි මිල ගණන් 5%කින් ඉහළ ගොස් තිබූ අතර ගුණත්වයෙන් ඉහළ තොග වෙළඳපොළෙහි පැවතීම එයට හේතු විය. අස්වනු නෙලන ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම හේතුවෙන් පැණි දොඩම් මිල ගණන් 8%කින් ඉහළ ගොස් තිබුණි. ඇඹිලිපිටිය සහ දෙනියාය යන ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම හේතුවෙන් ඇඹුල්, සීනි සහ කෝලිකුට්ටු යන සියලුම වර්ගයන්ගේ කෙසෙල් මිල ගණන් 3%-4% දක්වා පරාසයක ඉහළ ගොස් ඇති අතර ආනමාලු සහ ඇම්බුන් මිලෙහි සැලකිය යුතු වෙනසක් වාර්තා නොවීය. අලිගැටපේර මිල 2%කින් ඉහළ ගොස් ඇති අතර ගුණත්වයෙන් ඉහළ තොග වෙළඳපොළෙහි පැවතීම එයට හේතු විය.

මෙයට අමතරව අස්වනු නෙලන ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම හේතුවෙන් පැපොල් සහ තැඹිලි මිල ගණන් පිළිවෙළින් 2%කින් සහ 1%කින් ඉහළ ගොස් තිබුණි.

කෙසේ වෙතත් උපරිම මිල පහළයාම 10%ක් ලෙස දිවුල් සඳහා වාර්තා වූ අතර විරකැටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවලින් ඉහළ සැපයුමක් පැවතීම එයට හේතු විය. වැල්දොඩම් මිල 6%කින් පහළ ගොස් ඇති අතර අස්වනු නෙලන ප්‍රදේශවලින් පැවති ඉහළ සැපයුම එයට හේතු විය. ගුණත්වයෙන් පහළ තොග වෙළඳපොළෙහි පැවතිම හේතුවෙන් ආනයනික මිදි මිල 1%ක් ලෙස පහළ ගොස් පැවතුණි.

පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී බොහොමයක් පලතුරු වර්ගවල මිල ගණන් ඉහළ ගොස් තිබූ අතර උපරිම මිල ඉහළයාම 85%ක් ලෙස දිවුල් සඳහා වාර්තා විය.

මාළු

තොග සැපයුම ඉහළයාම හේතුවෙන් බොහොමයක් මාළු වර්ගයන්හි තොග මිල ගණන් පහළ ගොස් ඇත. උතුරු ප්‍රදේශයෙන් තොග සැපයුම ඉහළයාමත් සමඟ උපරිම මිල පහළයාම 17%ක් ලෙස තෝරා සඳහා වාර්තා විය. එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.1280.00-1600.00ක් අතර පැවතුණි. බේරුවල සහ මාතර යන ප්‍රදේශවලින් තොග සැපයුම ඉහළයාමත් සමඟ බලයා මිල 15%කින් පහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.300.00-400.00 අතර පැවතුණි.

කල්පිටිය හා මුලතිව් ප්‍රදේශවලින් තොග සැපයුම ඉහළයාමත් සමඟ හුරුල්ලා මිල 13%කින් පහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් රු.350.00-420.00 අතර පැවතුණි. උතුරු ප්‍රදේශයෙන් තොග සැපයුම ඉහළයාමත් සමඟ පරව් මිල 10%කින් පහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.650.00-850.00 අතර පැවතුණි. එසේම යාපනය ප්‍රදේශයෙන් තොග සැපයුම ඉහළයාමත් සමඟ මෝරා මිල 7%කින් පහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.600.00-720.00 අතර පැවතුණි. මීට අමතරව පිළිවෙළින් සාලයා මිල 6%කින් ද, ඉස්සා මිල 5%කින් ද  කෙලවල්ලා මිල 3%කින් ද පහළ ගොස් ඇත.

කෙසේ නමුත් මීගමුව හා වාලච්වේන යන ප්‍රදේශවලින් තොග සැපයුම පහළයාම හේතුවෙන් තලපත් මිල 8%කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.1,100.00-1,300.00 අතර පැවතුණි.

පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී බොහොමයක් මාළු වර්ගයන්හි තොග මිල ගණන් 1%-33% අතර ඉහළ ගොස් ඇති අතර උපරිම මිල ඉහළයාම තලපත් සඳහා වාර්තා විය.

කරවල

දේශීය කරවල සැපයුම පහළයාම හේතුවෙන් බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල ගණන් ඉහළ ගොස් ඇත. මීගමුව ප්‍රදේශයෙන් තොග සැපයුම පහළයාමත් සමග දේශීය මෝරා මිල 6%කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.1,100.00-1,300.00 අතර පැවතුණි. යාපනය ප්‍රදේශයෙන් තොග සැපයුම පහළයාමත් සමග දේශීය අඟුළුවා මිල 5%කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.1,200.00-1,300.00 අතර පැවතුණි. එසේම මීගමුව ප්‍රදේශයෙන් තොග සැපයුම පහළයාමත් සමග දේශීය මඩුවා මිල 3%කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.790.00-850.00 අතර පැවතුණි. මිට අමතරව දේශීය සාලයා සහ දේශීය කට්ටාවාහි මිල 2%කින් ඉහළ ගොස් ඇත.

කෙසේ නමුත් බේරුවල හා මාතර ප්‍රදේශවලින් තොග සැපයුම ඉහළයාම හේතුවෙන් දේශීය බලයා මිල 4%කින් පහළ ගොස් ඇති අතර එහි මිල පරාසය කිලෝවක් සඳහා රු.680.00-820.00 අතර පැවතුණි.

පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල ගණන් 17%-61% අතර ඉහළ ගොස් තිබෙන අතර උපරිම මිල ඉහළයාම දේශීය බලයා සඳහා වාර්තා විය.

බිත්තර

දුඹුරු බිත්තරයක මිල 3%කින් ද සුදු බිත්තරයක මිල 2%කින් ද පහළ ගොස් ඇති අතර  ඒවායෙහි මිල පරාසයන් පිළිවෙළින් රු.18.00-18.50 අතර සහ රු.16.00-17.00 අතර වාර්තා විය.

පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී සුදු බිත්තර සහ දුඹුරු බිත්තර මිල පිළිවෙළින් 19%කින් සහ 13%කින් පහළ ගොස් ඇත.

වියළි මිරිස් 

තොග සැපයුම ඉහළයාම හේතුවෙන් ආනයනික වියළි මිරිස් තොග මිල 1%කින් පහළ ගොස් තිබුණු අතර එහි මිල පරාසය කිලෝවකට රු.510.00-525.00ක් විය.   පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී ආනයනික වියළි මිරිස් තොග මිල 28%කින් ඉහළ ගොස් තිබුණි.

ළූණු

තත්වයෙන් ඉහළ තොග වෙළඳපොළ තුළ පැවතීම හේතුවෙන් සහ ඉල්ලුම ඉහළයාම හේතුවෙන් සිනන් සහ වේදාලන් තොග මිල ගණන් පිළිවෙළින් 29%කින් සහ 16%කින් ඉහළ ගොස් තිබුණු අතර ඒවායේ මිල පරාසයන් පිළිවෙළින් කිලෝවකට රු.180.00-230.00ක් සහ කිලෝවකට රු.240.00-260.00ක් ලෙස සටහන් විය.  ආනයනික ලොකුළූණු සඳහා පනවා ඇති විශේෂ ආනයනික බද්ද ඉහළ දැමීම හේතුවෙන් දේශීය ලොකුළූණු සහ ආනයනික ලොකුළූණු මිල ගණන් පිළිවෙළින් 18%කින් සහ 14%කින් ඉහළ ගොස් තිබුණු අතර ඒවායේ මිල පරාසයන් පිළිවෙළින් කිලෝවකට රු.105.00-135.00ක් සහ රු.70.00-140.00ක් ලෙස සටහන් විය.

දේශීය ලොකුළූණු තොග මිල කිලෝවකට රු.90.00-110.00ක් ලෙස තඹුත්තේගම වෙළඳපොළෙන් වාර්තා විය. පළමු ශ්‍රේණිය සහ දෙවන ශ්‍රේණිය දේශීය ලොකුළූණු මිල පිළිවෙළින් කිලෝවකට රු.80.00-110.00 සහ රු.65.00-75.00 දක්වා දඹුල්ල වෙළඳපොළින් වාර්තා විය. දඹුල්ල වෙළඳපොළේ දේශීය ලොකුළූණු සැපයුමන්  වැඩි ප්‍රමාණයක්  පළමු ශ්‍රේණියෙ ලොකුළූණු විය. මාතලේ ප්‍රදේශයේ ඉහළ ලොකුළූණු අස්වැන්නක් මෙම මාසය අගදී  අපේක්ෂා කළ හැක.

පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී වේදාලන් සහ සිනන් තොග මිල ගණන් පිළිවෙළින් 68%කින් සහ 56%කින්  ඉහළ ගොස් තිබුණු අතර ආනයනික ලොකුළූණු සහ දේශීය ලොකුළූණු මිල ගණන් පිළිවෙළින් 20%කින් සහ 6%කින් පහළ ගොස් තිබුණි.

අර්තාපල්

දේශීය තොග සැපයුම ඉහළයාම හේතුවෙන් සියලුම අර්තාපල් වර්ගවල තොග මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණි. ආනයනික අර්තාපල් මිල 22%කින් පහළ ගොස් තිබුණු අතර එහි මිල පරාසය කිලෝවකට රු.110.00-160.00ක් විය.  (පාකිස්ථාන් අර්තාපල් සඳහා මිල පරාසය කිලෝවකට රු.110.00-130.00ක් ද ඉන්දියානු අර්තාපල් සඳහා මිල පරාසය කිලෝවකට රු.155.00-160.00ක් ද ලෙස විය). වැලිමඩ අර්තාපල් සහ නුවරඑළිය අර්තාපල් මිල ගණන් පිළිවෙළින් 15%කින් සහ 12%කින් පහළ ගොස් තිබුණු අතර ඒවායේ මිල පරාසයන් පිළිවෙන් කිලෝවකට රු.160.00-175.00ක් සහ කිලෝවකට රු.180.00-195.00ක් ලෙස සටහන් විය.

පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසදීමේදී සියලුම අර්තාපල් වර්ගවල තොග මිල ගණන් 8%-44% දක්වා පරාසයක ඉහළ ගොස් තිබුණි.

මාෂ භෝග

ආනයනික වියදම් ඉහළයාම හේතුවෙන් රතු පරිප්පු මිල 1%කින් ඉහළ ගොස් තිබුණු අතර එහි මිල පරාසය කිලෝවකට රු.245.00-252.00 දක්වා විය. තොග සැපයුම පහළයාම හේතුවෙන් මුං ඇට මිල 1%කින් ඉහළ ගොස් තිබුණු අතර එහි මිල පරාසය කිලෝවකට රු.750.00-800.00 ක් විය. මේ අතර තොග සැපයුම ඉහළයාම හේතුවෙන් රතු කව්පි  මිල 2%කින්  පහළ ගොස් තිබුණු අතර එහි මිල පරාසය කිලෝවකට රු.350.00-400.00 ක් විය. සුදු කව්පි මිල සැලකිය යුතු ලෙස වෙනස් වී නොතිබුණු අතර එහි කිලෝවක සාමාන්‍ය මිල රු.539.00ක් ලෙස සටහන් විය.

පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී මුං ඇට තොග මිල 180%කින් ඉහළ ගොස් තිබුණු අතර රතු පරිප්පු සහ රතු කව්පි මිල ගණන් ද පිළිවෙළින් 81%කින් සහ 31%කින් ඉහළ ගොස් තිබුණි.

වී – ගොවියාට ලැබුණු මිල

කෙටි වී සාමාන්‍ය මිල කිලෝවකට රු.4.00ක පහළයාමක් පොළොන්නරුව සහ කලාවැව ප්‍රදේශවලින් වාර්තා වූ අතර මෙම ප්‍රදේශයන්හි දිග සුදු වී මිල ද කිලෝවකට රු.2.00-4.00 දක්වා පරාසයක පහළයාමක් වාර්තා විය. මේ අතරතුර, දිග සුදු වී මිල කිලෝවකට රු.4.00ක ඉහළයාමක් අනුරාධපුර ප්‍රදේශයෙන් ද කෙටි වී මිල කිලෝවකට රු.2.00ක පහළයාමක් අම්පාර ප්‍රදේශයෙන් ද වාර්තා විය. කෙටි වී සහ සුදු දිග වී දෙවර්ගයෙහි සාමාන්‍ය මිල පරාසය පිළිවෙළින් කිලෝවකට රු.52.00-59.00 සහ රු.50.00-56.00 දක්වා විය. හම්බන්තොට හැර සෙසු දකුණු පළාත් ප්‍රධාන වී නිෂ්පාදන ප්‍රදේශයන්හි රතු දිග වී මිලෙහි සැලකිය යුතු වෙනසක් වාර්තා නොවූ අතර සාමාන්‍ය මිල පරාසය කිලෝවකට රු.51.00-55.00 දක්වා විය.

Related Posts