මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙන්නේ ඇයි?

Spread the love

මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එළැඹෙන 14 වෙනිදා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සිකුරාදා (සැප්තැම්බර් 10) පැවසීය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, ලබන මාසයට යෙදෙන සිය 80 වෙනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුණ ද පසුගිය දින 10 තුළ ඇතිවූ සිත්රිදවීම් නිසා තමා දැඩි මානසික ආතතියකට ලක්ව සිටි බවය. ඒ අනුව, කලින් සැලසුම් කළ විශ්‍රාම යාමේ දිනට සති හයකට පෙර එනම් ලබන අඟහරුවාදා සිය ධුරයේ අවසන් දිනය බව මහාචාර්ය ඩබ්ලිව්ඩී ලක්ෂ්මන් පැවසීය.

තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කළ නමුත් මතවාදී හා පෞද්ගලික ගැටුම් හේතුවෙන් එය මුළුමණින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව මහ බැංකු අධිපතිවරයා කීය.

“පසුගිය සතිය හෝ දින 10 ක කාලය තුළ මාධ්‍ය තුළ අප්‍රසන්න වාර්තා තිබුණා.” ඔහු මාධ්‍ය වෙත පැවසීය.

“සමහර දේශපාලන ගැටලුත් තිබෙනවා, පෞද්ගලික ගැටලුත් කිහිපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් මගේ සැලැස්මට අනුව දේවල් ලබා ගැනීම පහසු වුණේ නැහැ.”

මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙස තමාගේ මිතුරන් සහ හිතවතුන් සිතන බවද ඔහු පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ, “මහ බැංකු අධිපති පදවිය දරමින් කිහිප අවස්ථාවකම මා ප්‍රකාශ කළ කරුණක් මෙහි ලා සඳහන් කිරීමට සිතේ. එනම්, අප ඉගෙනගත් කාලයේත්, අදත්, අපි අපේ රට ඌණ සංවර්ධිත හෝ දියුණු වෙමින් පවතින රටක් සේ හඳුන්වමින් කටයුතු කරමු. එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්ප්‍රදාය බව මම දනිමි. එහෙත් තවමත් මෙසේ දියුණු වෙමින් පවතින රටක් ලෙස ලංකාව හඳුන්වා ගැනීමට සිදුවීම ගැන සැබවින්ම අප කණගාටු විය යුතුයි. මෙම තත්ත්වයෙන් මිදීමට ගන්නා ප්‍රයත්නයේ හවුල්කරුවකු වීමටයි මට අවශය වූයේ. එහෙත් ඒ සඳහා අප සමාජයේ හෝ අප පක්ෂ දේශපාලනයේ කැපවීමක් නැති බව, එසේම ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් එකහෙළා දීර්ඝ කාලීනව අනුගමනය නොකිරීමේ ප්‍රශ්නය, දෙවසරකට ආසන්න පසුගිය කාලය තුළ වඩාත් මැනවින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මට හැකි විය. මේ නිසා අපට පසුපසින් සිටි බොහෝ රටවල් එකක් පසුපස එකක් වශයෙන් “සංවර්ධන” ගමනේදී අප පසු කර යන්නේ. මෙම අවස්ථාවේ මා කෙටියෙන් සඳහන් කළ කරුණු ගැන කිව යුතු තවත් බොහෝ දේ ඇතත් මම මෙපමණකින් නවතිමි.”

ශ්‍රී ලංකාව “භයානක විදේශ විනිමය අර්බුදයකට” මුහුණ පා සිටින බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කිරීමෙන් දින තුනකට පසු සිය ඉල්ලා අස්වීම සිකුරාදා ප්‍රකාශයට පත්කරමින් මහ බැංකු අධිපතිවරයාගේ මෙම විශේෂ නිවේදනය නිකුත් විය.

ශ්‍රී ලංකාව මේ දිනවල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය විවිධ උපක්‍රම අත්හදා බලමින් සිටින බව නොරහසකි.

ආනයන තහනම් කිරීම හරහා රටෙන් බැහැරට විදේශ විනිමය ගලායාම නැවැත්වීම හා විවිධ මාර්ගවලින් ණය ලබාගැනීම ද ඊට අයත් වේ. එහෙත් පවතින ගෝලීය අර්බුදය හමුවේ විදේශ ණය වෙළෙඳපොළෙන් ණය ලබාගැනීම අවාසි සහගත බැවින් චීනය හා බංගලාදේශය වැනි විවිධ රටවල් සමග විදේශ මුදල් හුවමාරු සදහා එළැඹීමට පියවර ගෙන තිබේ.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් තම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වී නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමට නියමිත බව ඔහු මාධ්‍යවෙත පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් යෙදවීම සඳහා බොහෝ පෞද්ගලික බැංකුවල විදේශ මුදල් නොමැති වීම හේතුවෙන් රුපියල ඉතාමත් සීග්‍රයෙන් අවප්‍රමාණය වී ඇති අතර පසුගිය සතියේ එය ඇමරිකා එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230ක් දක්වා පහත වැටිණි.

සීනි සහ සහල් සඳහා බොහෝ දිනවල සතොස ඇතුළු බොහෝ වෙළෙදසල්ඉදිරිපිට දිගු පෝලිම් දැකගත හැකි අතර බොහෝ පාරිභෝගිකයින් පැවසුවේ වෙළෙඳපොළේ මේ වන විට ආනයනික ආහාර ද්‍රව්‍ය මෙන්ම කිරි පිටි හිඟයක් ඇති බවකි.

මේවන විට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හා විදේශ මුදල් හිඟකමට පිළියම් යෙදීමට ජනාධිපතිවරයා පසුගිය සතියේ හදිසි නීතිය ප්‍රකාශ කළේය.

විදේශ මුදල් රට තුළ ඉතිරි කිරීම සඳහා රජය මේ වන විටත් වාහන හා වෙනත් භාණ්ඩ සහ ආහාර පිසින තෙල් සහ කුළුබඩු ආනයනය කිරීම තහනම් කර තිබුණි.

එහෙත් පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ මහ බැංකුව පසුගිය බදාදා (සැප්තැම්බර 8) ජංගම දුරකථන, පාරිභෝගික භාණ්ඩ, ටයර් සහ ඇඳුම් ඇතුළු භාණ්ඩ 623ක් ආනයනය සඳහා ණය ලබා නොදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100 per cent cash margin deposit requirement) වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීම තුළින් මහ බැංකුව බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 9) සීමා තවදුරටත් දැඩි කළේය.

මහා බැංකුව ප්‍රකාශ කළේ ඒ තුළින් අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැකගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට මෙම පියවර සහය වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බවය.

පවතින කොරෝනා වයිරසයට ගොදුරු වීමත් සමග පසුගිය වසරේ සිට රට විටින් විට අගුලු දැමීමත් සමග රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන ආදායම් මාර්ගයක් වන සංචාරක අංශය වසා දැමීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.6 කින් වාර්තාගත ලෙස හැකිලී ගියේය.

නිල සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ ජූලි මස අවසානයේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 2.8 දක්වා පහත වැටී ඇති බවය. වසරේ ඉතිරි කාලය තුළ විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 2.0 ක් පමණ ගෙවීමට සිදු වේ.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය පහත හෙලනු ලැබ ඇති අතර ණය ගෙවීම ඉක්මණින් පැහැර හැරිය හැකි බවට බිය පළ කර තිබේ.

බී.බී.සී සන්දේශය ඇසුරිනි

Related Posts