යාපනය අර්ධද්වීපයේ අතුරුදහන් වු ජනමාධ්‍යවේදීන්ට මෙතෙක් සාධාරණයක් ඉටුවී නැහැ – උතුරු ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Spread the love

ටීආර්ටී සිංහල ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවකදී උතුරු ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් රත්නම් දයාපරන් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ  යාපනයේ අර්ධද්වීපයේ ඝාතනයට ලක් වූ හා අතුරුදහන් වූ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බවයි.

පසුගිය වසර ගණනාව තුළ මරා දැමුණු අතුරුදහන් කළ යාපන අර්ධද්වීපයේ ජනමාධ්‍යවේදීන් පිළිබඳව මෙතෙක් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට පොලිසිය සමත් වී නොමැත.

යාපනයේ බීබීසී වාර්තාකරුව සිටි නිමලරාජන් මයිල්වාගනම්, නමුදුඊලනාඩු පුවත්පතේ හිමිකරු මහෂිවරාසා, උදයන් පුවත්පතේ රජී වර්මන්, ශක්ති ටීවීහි දේවකුමාර්, එම්ආර්ටීසී හි නිලක්‍ෂන් ඝාතනයට ලක් වූ යාපන අර්ධද්වීපයේ ජනමාධ්‍යවේදීන් අතර වේ.

එම සිද්ධීන් වුණු අවස්ථාවල පොලිසිය පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු කරනුයේ කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව ඔහු ඇප මත මුදා හැරීමෙනි. උදයන් පුවත්පතෙහි ප‍්‍රවෘත්ති සංස්කාරක කුහනාදන්ට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ද සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් උණුසුම් වාතාවරණයක් තුළ මෙවැනි සැකකරුවන් අත්අඩංගුවට ගෙන කටයුතු කළද ඉන් පසුව එම පරීක්‍ෂණවල කිසිදු ප‍්‍රගතියක් පෙන්නුම් කර නැත.

වාලම්පුරි පුවත්පතේ මාධ්‍යවේදියෙකු වූ රාමචන්ද්‍රන් අතුරුදහන් කර දැනට වසර 04ක් පමණ ගෙවී ගොස් ඇත. එහෙත් ඔහු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් දැනගන්නට නොමැති බව උතුරු ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් රත්නම් දයාපරන් මහතා ප‍්‍රකාශ කර ඇත.
එමෙන්ම යාපනයේ දී ඝාතනයට ලක් වූ හා අතුරුදහන් කළ ජනමාධ්‍යවේදීන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට ද කිසිදු සහයෝගයක් හෝ ඔවුන් ගැන සොයා බැලීමක් සිදු කර නොමැති බවද ඔහු ප‍්‍රකාශ කරයි.

RSL

Related Posts