මාර්තු 29දා දිවයිනේ සියලු ම පාසල් යළි ඇරඹෙයි

Spread the love

මේ මස 29වන දින එනම් 2021/03/29 වන සඳුදා දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් විවෘත කරන බවත් ඒ සමඟ ම සියලු ම පෙරපාසල් ද විවෘත කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (24) දින පොල්හේන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

දැනට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනේ ම පාසල්වල පන්ති පැවැත්වෙන්නේ 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණි සඳහා පමණි. නමුත් දැන් අපි විශ්වාස කරනවා අනෙකුත් ශ්‍රේණිවල පන්ති ආරම්භ කිරීමට පුළුවන් තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා කියලා. මේ සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ නිර්දේශය මේ වනවිට අපට ලැබී තිබෙනවා.

දිවයිනේ සෙසු සියලු ම ප්‍රදේශවල සියලු ම පන්තිවල අධ්‍යයන කටයුතු සඳහා පාසල් මේ වනවිටත් විවෘතකොට තිබෙනවා. දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ලොකු උවමනාවක් තිබෙනවා පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සම්බන්ධ ව. ඒකට හේතුව තමයි දරුවන් විශාල ආතතියකට පත්වෙලා තිබෙනවා නිවෙස්වලට සිර වී සිටීමට සිදුවීම නිසා. ඒවගේ ම අධ්‍යයන කටයුතු මඟහැරීම නිසා. මේ තත්ත්වය නිමා කරලා පාසල් කටයුතු යථා තත්ත්වයට පත් කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්. ඒ නිසා ‍මාර්තු 29වන දින මුළු රටේ ම පාසල් අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරනවා. යනුවෙන් ද පැවසී ය.

Related Posts