පුරන් කුඹුරු අක්කර 100,000ක් අස්වද්දන ‘ජාතික සංග්‍රාමය’ ඇරඹේ !

Spread the love

කෘෂිකර්ම අමාත්‍යංශය මෙහෙයවීමෙන් ‍හෙට (25) පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමය අරඹන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අදාළ වැඩසටහන පිළිබදව ජනමාධ්‍ය දැනුවත් කිරීම සදහා අද (24) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය. 

අක්කර ලක්ෂයක් වන ලංකාවේ මුළු පුරන් කුඹුරු ප්‍රමාණයෙන් යල කන්නය වෙනුවෙන් හෙට දින ගොවිජන සේවා මධ්‍යස්ථාන 320ක පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. 

මේ අනූව ජාතික උත්සවය යටතේ දොම්පේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පහුරුවෙල ප්‍රදේශයේ අක්කර 140ක කුඹුරු යාය අස්වැද්දීම සිදුකරන බවද පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීමෙන් යල කන්නයේ මෙට්‍රික් ටොන් 35,000ක් වී අස්වැන්නට එකතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. 

සියලු පුරන් කුඹුරු වල ඇළ මාර්ග සුද්ද පවිත්‍ර කර පිළිසකර කර දෙන බවද ගොවි මහතුන් හට අක්කරයකට රුපියල් 25,000 බැගින් පොළී රහිත ණය ලබාදෙන බවද ඇමතිවරයා පැවසීය. 

මේ සදහා පොහොර, තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර පහසුකම් රජයෙන් නොමිලේ ලබාදීමට නියමිත වන අතර එක් ගොවිජන සේවා බල ප්‍රදේශයක අක්කර 10 බැගින් මේ යටතේ පුරන් කුඹුරු අස්වැද්දීම අනිවාර්යය කොට ඇත. 

පළමු අදියර වශයෙන් අක්කර 28,000ක් අස්වැද්දීම අරඹන බවද, ඉන්පසු 22,000ක් ද දෙවන අදියර යටතේ අක්කර 50,000ක්ද පුරන් කුඹුරු අස්වැද්දීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා පැවසුවේය.

මෙම වසරේ සියලු පුරන් කුඹුරු අස්වද්දා පුරන් කුඹුරු කියන එක කෘෂිකර්මාන්තයේ ශබ්දකෝෂයෙන් ඉවත් කිරීමට මෙන්ම සියලුම කුඹුරු ගොවීන් විසින් අස්වැද්දීමේ වැඩසටහනකට යාමට බලාපොරොත්තු වන බවද කියා ඇමතිවරයා සිටියේය. 

උපුටා ගැනීම – කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය.

Related Posts