බැඳුම්කර සෘජු නිකුතු ක්‍රමය නැවැත්වීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට නියෝග දුන් බව අර්ජුන් පිළිගනී

Spread the love

රජයේ විය හියදම් සඳහා අවශ්‍ය වූ මුදල් රැස්‌කර ගැනීමට එතෙක්‌ අනුගමනය කළ සෘජු නිකුතු ක්‍රමය අත්හිටුවීමට තීරණය කළේ තමා බවත් ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය පැවැත්වූ 2015 පෙබරවාරි 27 දා පෙරවරුවේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය තමා ඊට අදාළ උපදෙස්‌ එහි නිලධාරීන්ට ලබා දුන් බවත් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

තමා එම තීරණය ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන් සමඟ හෝ මහ බැංකුවේ නිලධාරීන් කිසිවෙක්‌ සමඟ සාකච්ඡා නොකළ බව ද විනිසුරු ජයවර්ධන මහතාගේ තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මහේන්ද්‍රන් මහතා පැවසීය.

විනිසුරු ජයවර්ධන – එහෙම නම් එය ඔබේ තනි මතයට ගත් තීරණයක්‌.

සාක්‍ෂිකරු – ඔව්

ජ්‍යෙ. රජයේ අධිනීතිඥ – මේ ගැන මුදල් මණ්‌ඩලයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කළාද?

මහේන්ද්‍රන් – ඔව් මුදල් මණ්‌ඩලයට දැනුම් දුන්නා.

ජ්‍යෙ. රජයේ අධිනීතිඥ – මූල්‍ය මණ්‌ඩලයේ සාමාජිකයන් කීපදෙනෙක්‌ මේ කොමිසම හමුවේ සාක්‍ෂි දුන්නා. සෘජු නිකුතු බාරගැනීම අත්හිටුවන බව පැවසූ නමුත් ඒ ගැන සාකච්ඡා කළේ නැහැ කියලා ඔවුන් පැවසුවා.

මහේන්ද්‍රන් – ඔවුන් ඒ සඳහා එකඟ වුණා.

ජ්‍යෙ. රජයේ අධිනීතිඥ – මුල්‍ය මණ්‌ඩලයේ වාර්තාවල සෘජු නිකුතු ක්‍රමය නතර කිරීම ගැන කිසිම සටහනක්‌ පේන්න නැහැ.

මහේන්ද්‍රන් – මා මහ බැංකුවේ අධිපති ලෙස පත්වන විට රජය විශාල ණය බරක හිරවෙලා හිටියේ. රජය ලැබූ 90% වැය කළේ ණය ගෙවීමට තවත් ණය ලබාගන්න බැරි තත්ත්වයට පත්වෙලා හිටියේ.

රුපියල ටි්‍රලියන 1.2 ක්‌ විශේෂයෙන් 2017 වසරේදී ආර්ථික වශයෙන් ඉතාමත් නරක තත්ත්වයකට අර්බුදයකට රට මුහුණපා සිටියේ. මේ තත්ත්වය පාලනය කිරීමට යම් ඵලදායක පියවරක්‌ ගැනීම ඉතා අවශ්‍ය වුණා.

ජ්‍යෙ. රජයේ අධිනීතිඥ – සෘජු නිකුතු ක්‍රමය නතර කිරීමට පෙර ඒ ගැන අදහස්‌ ලිතව ඉදිරිපත් කරන ලෙස ඔබ මහ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තුවලට දැනුම් දුන්නද?

සාක්‍ෂිකරු – නැහැ. අගමැතිවරයා හා ඊට පහළ තනතුරු දැරූ බොහෝ දෙනෙක්‌ මට කියා සිටියේ රජයේ හදිසි විය හියදම් සඳහා විශාල මුදලක්‌ අවශ්‍යයි. ඒ සඳහා ගත හැකි පියවරයන් ඉක්‌මනින් ගන්න ලෙසත් මට කිව්වා.

ජ්‍යෙ. රජයේ අධිනීතිඥ – මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පුළුවන්කම තිබුණා රජයට අවශ්‍ය මුදල් සොයාදෙන්න. ප්‍රමාණවත් මුදල් සොයාගන්න නොහැකියි කීම වැරදියි.

මහේන්ද්‍රන් – මම ඒ ප්‍රකාශය පිළිගන්නේ නැහැ.

ජ්‍යෙ. රජයේ අධිනීතිඥ – සෑම මසකම රජයේ විය හියදම් සඳහා අවශ්‍ය ප්‍රමාණය විස්‌තර සහිතව ලිතව මහා භාණ්‌ඩාගාරය විසින් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට එවනවා. ඒ ලියවිල්ල ලැබුණාම අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය සොයා දෙන්න එම දෙපාර්තමේන්තුව පියවර ගන්නවා. මහ බැංකුවත් භාණ්‌ඩාගාරයත් සාමාන්‍යයෙන් අනුගමනය කළ කාර්ය පටිපාටිය එයයි.

මහේන්ද්‍රන් – ඒක මම පිළිගන්නවා.

ජ්‍යෙ. රජයේ අධිනීතිඥ – 2015 වනතෙක්‌ම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මහා භාණ්‌ඩාගාරය ඉල්ලූ මුදල් සොයා දුන්නේ බැඳුම්කර වෙන්දේසි හා සෘජු නිකුතු ක්‍රමය මගිනුයි.

මහේන්ද්‍රන් – ඔව්.

ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ – ඒක කිසිදු අඩුපාඩුවක්‌ නැතිව දිගටම කරගෙන ආවා.

එහෙත් අවසාන කාලයේ රජයට අවශ්‍ය අරමුදල් ප්‍රමාණවත් ලෙස ලබාගැනීමට සෘජු නිකුතු ක්‍රමය අසමත් වූ බව අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසමට කීවේය.

RSL

Related Posts