ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු කරුණු එලෙසින්ම ඉටු කරනවා – ජනපති සටන ජයගත් ගෝඨාභය කියයි

Spread the love

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ සියලු කරුණු තම ධූර කාලය තුළ ඒ අයුරින් ම ඉටු කරන බව මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (17) මේ බව පැවසීය.

මෙරට ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම රැක ගන්නා බවත් ආගමක්, ජාතියක් නොතකමින් සියලු ජනතාවට ශ්‍රී ලාංකිකයන් ලෙස සේවය කිරීමට කැප වෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

නිදහස් සාමකාමී හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට, රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්ට ද ස්තූතිය පළ කළ රාජපක්ෂ මහතා, නියමිත කාලවලදී මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාවට අවශ්‍ය සහය ලබා දෙන බවත් මෙහිදී කියා සිටියේය.

මෙතෙක් පැවැති මැතිවරණ සංස්කෘතිය වෙනස් කර සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා ගැනීමට හැකියාව ලැබීම ගැන සතුටු වන බව සඳහන් කළ ඒ මහතා, විවේචන වලින් මෙන්ම පෝස්ටර් හා පොලිතින් භාවිතයෙන් තොරව ගෙන ගිය තමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වු සියලු දෙනාට ද ස්තූතිය පළ කළේය. තමා වෙනුවෙන් ඡන්දය දුන් හා තමාට විරුද්ධව ඡන්දය දුන් සියලු දෙනාගේ ජනාධිපතිවරයා ලෙස රටේ සියලු ශ්‍රී ලාංකිකයින්ට සේවය කිරීමට කැප වෙන බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

RSL

Related Posts