දේශපාලන පක්ෂ තුළ කාන්තා නියෝජනය පිළිබද පර්යේෂණ වාර්තාව එළිදකී

Spread the love

කාන්තා දේශපාලන සහභාගීත්වය පිළිබද ප්‍රතිපත්ති සහ භාවිතාවන් සිතියම්ගත කිරීම සදහා දේශපාලන පක්ෂ තුළ කාන්තා නියෝජනය පිළිබදව One Text Initiative සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා ෆින්ලන්තයේ දේශපාලන පක්ෂ යන ආයතනයන් විසින් ඉදිරිපත් කළ වාර්තාව කොළඹ දී එළිදැක්වීම පසුගියදා සිදු විය.

ශ්‍රී ලංකා රජය විසින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා තමන්ගේ කැපවීම ප්‍රකාශ කර ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ 06ක සහභාගීත්වයෙන් සිදුකළ මෙම පර්යේෂණයෙන් ඉදිරිපත් කෙරෙන කරුණු ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන මැදිහත්වීම පිළිබද ඉතා පැහැදිලි චිත්‍රයක් සපයනු ලබයි.

මෙම අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළේ
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් සහ ඡන්ද බලයෙන් 56% ක් හිමිවූ කාන්තාවන්ගේෙ දේශපාලන අයිතීන් වෙනුවෙන් කාන්තාවන් ලෙස ජාලගත වීම වැදගත් වන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කලේ 225ක් සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12 දෙනෙකුගේ හඩ නොඇසෙන බවත් 213ක් අභිබවා යාහැකි හඩක් නැගීමට නම් 23%ක් වූ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරියන් සහ කාන්තාවන් ජාලගතවීම අවශ්‍යතාවයක් බවයි.

මෙහිදී අමාත්‍යවරිය පෙන්වා දුන්නේපාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12 දෙනා විවිධ පක්ෂවල සිටියත් කාන්තාවන්ගේ ප්‍රශ්නවලදී එකට සිටගන්නවා සේම යම් මන්ත්‍රීවරියකට සිදුවන අසාධාරණයකදී මන්ත්‍රීවරියන්ගේ සංසදය ලෙස එක්ව කටයුතු කරන බවයි. කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය මේ මොහොතේ අත්‍යවශ්‍ය බවත් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සදහා වෙන්කර ඇති 25%ක කෝටාව අඩුකිරීමට උත්සාහගනු ලැබුවහොත් එය පරාජය කිරීමට තමන් කැපවන බවයි.

මෙමඅවස්ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, දෙමළ සන්ධානය වෙනුවෙන් එම්.ඒ.සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ප්‍රේමනාත් දොලවත්ත, ජගත් පුෂ්පකුමාර, හිටපු මන්ත්‍රීවරුන්වන ෆේරියල් අෆ්රොෆ්, කරුණාරත්න පරණවිතාන යන මහත්ම මහත්මීන් සමග වන් ටෙක්ස්ට් ආයතනයේ සභාපති අමීර් ෆායිස්, එහි ව්‍යාපෘති අධ්‍යක්ෂිකා කනකා අබේගුණවර්ධන, කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රභා මනුරත්න, හරිනද්‍ර බී දසනායක, මනීෂා දූල්ලෑව යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

 

Related Posts