ජාතික රුක් රෝපණ නැකතට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිත් එක් වෙයි

Spread the love

පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ වන ආවරණය ඉහළ නැංවිම සඳහා ආරම්භ කර තිබෙන හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩ සටහන අතිශයින්ම අගය කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකී (Mizukoshi Hideaki) මහතා පැවසීය.

ඊයේ (24) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා අතර සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ නිල නිවසේ දී පැවැත්විනි.

එම අවස්ථාවේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික පාරිසරික ප්‍රඥප්තින් අනුව යමින් පාරිසරික වැඩ කටයුතු සැලසුම් කර ඇති ආකාරය අමාත්‍යවරයා පැහැදිළි කළේය. විශේෂයෙන් 2030 වන විට මෙරට වනගහණය සියයට 30 දක්වා ඉහළ නැංවීම මෙන්ම කාබන්වලින් තොර ශ්‍රී ලංකාවක් සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩ සටහන් ද අමාත්‍යවරයා විස්තර කරනු ලැබීය.

හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ සටහන යටතේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය නිමිත්තෙන් මෙම වසරේ අප්‍රේල් මස 18 දින පෙරවරු 11.16ට පැළ රෝපණය කිරීම සඳහා ජාතික නැකතක් ද සකස් කර තිබේ.

එදින දිවයින පුරා සිටින පවුල් මිලියන 5.2ක් රුක්රෝපණය සඳහා දායක කර ගැනීම තම අරමුණ බවත්, නැකතට පැළයක් යන නමින් එම නැකැත් චාරිත්‍රය ඉටු කිරීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා කීය. පසුගිය වසරේ දී ද නැකතට පැළයක් වැඩ සටහන යටතේ පැළ මිලියනයක් පමණ මෙරට රෝපණය කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම මෙවර ශ්‍රී ලංකාවේ පිහිටි සෑම තානාපති කාර්යාලයකටම පලතුරු පැළ යැවීමට කටයුතු යොදා තිබේ. එහි පළමු පැළය ජපාන තානාපතිතුමන්ට පිරිනමන බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki මහතාට නා පැළයක් පිරිනමනු ලැබීය.
මෙහිදී අදහස් පළ කළ තානාපතිවරයා සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ තමන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවත් අප්‍රේල් මස 18 දින නැකතට පැළයක් වැඩ සටහනට තම තානාපති කාර්යාලයේ සියලු දෙනා සහභාගි කර ගන්නා බවත් පැවසීය.

පරිසරයට ආදරය කරන පිරිසක් ලෙස ජපාන ජනතාව ලොව පුරා ප්‍රසිද්ධ ව සිටින බව කී තානාපතිවරයා ගසක් යනු සජීවි වස්තුවක් බවත් ගසක් රෝපණය කිරීම ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක සෑම කෙනෙකුගේම වගකීමක් බව ද පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වනගහණය ඉහළ නැංවීම පිණිස ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු වැඩ සටහන සාර්ථක කර ගැනීමට තම රටේ සහයෝගය පවා ලබා දීමට සූදානම් බව ද මිෂුකෝෂි හිදේකී මහතා සඳහන් කළේය.

 

Related Posts