දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව වහාම ඉවත් කිරීමට පියවර ගන්න

Spread the love

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දෙයි.

නාරාහේන්පිට Milco කර්මාන්තශාලාව අද (25) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

දියර කිරි මිලදී ගැනීමේදී  දිස්ත්‍රික් මට්ටමින් පවතින මිල ගණන්වල විෂමතාව කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් කෙරිණ. කිරි ගොවියාගෙන් කිරි මිලදී ගෙන ආයතනය දක්වා රැගෙන ඒමේදී  අතරමැදියන්ගෙන් සිදුවන අක්‍රමිකතා මඟහැරීමට සමස්ත ක්‍රියාවලිය පූර්ණ අධීක්ෂණයට ලක් කළ යුතු බවත් නියම මිල කිරි ගොවියා අතට ලැබීමට සැලැස්විය යුතු බවත්  ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කිරි ගොවියා නඟාසිටුවීම සහ දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් මෙම තීරණයන්ට එළැඹිණ. මෙහිදී පාරිභෝගිකයාට බරක් හා පවතින මිල ගණන්වල වෙනසක් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කර්මාන්තශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා දියර කිරි එක්රැස් කිරීමේ සිට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමේ ක්‍රියාවලිය පූර්ණ නිරීක්ෂණයට ලක් කළේය.

1956 වර්ෂයේ දී ඇරඹි ජාතික කිරි මණ්ඩලය 1986 දී මිල්කෝ පුද්ගලික සමාගම බවට පත් කෙරිණ. පළමු අදියර යටතේ පැස්ටරීකරණය කරන ලද කිරි නිපදවීමට පමණක් සීමා වී තිබූ Milco ආයතනය මේ වන විට  යෝගට්, අයිස්ක්‍රීම්, බටර්, එළඟි තෙල්, මුදවපු කිරි සහ කල්කිරි වැනි කිරි හා කිරි ආශ්‍රිත නිපැයුම් සිදු කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කර තිබේ.

අඹේවෙල, දිගන, පොළොන්නරුව හා නාරාහේන්පිට පිහිටා ඇති කර්මාන්තශාලා 04ක 1,500කට ආසන්න කාර්යය මණ්ඩලයකින් යුත් ආයතනයේ දෛනික කිරි ධාරිතාවය ලීටර් 700,000ක් වන අතර වර්තමාන කිරි එකතුව ලීටර් 120,000කට සීමා වී තිබේ.

ගොවීන්ගේ සුබසාධන කටයුතු සඳහා මැදිහත් වන බව ආයතනයේ පාලනාධිකාරිය සඳහන් කළේය.

යුරෝ මිලියන 600ක ඩෙන්මාර්ක් රජයේ ආයෝජනයක් ලෙස බඩල්ගම ඉදිවෙන කිරි කර්මාන්තශාලාවේ මෙහෙයුම් සැප්තැම්බර් මාසයේ ඇරඹීමට අපේක්ෂා කෙරේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) යටතේ ඇති භාවිතයට නොගත් ඉඩම්වල තෘණ වගා කිරීමටත් දිගන, අඹේවෙල, පොළොන්නරුව හා බඩල්ගම යන කර්මාන්තශාලාවල ප්‍රධාන මධ්‍යස්ථානය සේ  නාරාහේන්පිට පිහිටි මිල්කෝ කර්මාන්තශාලාව සංවර්ධනයට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

පිටි කිරි කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය සඳහා යොදාගැනෙන දියර කිරි ලීටර් ප්‍රමාණය 8.5කි. ඉන් සෑදිය හැක්කේ කිරි කෝප්ප 45ක් පමණි. එහෙත් දියර කිරි ලීටර් 2.5කින් එම අවශ්‍යතාව සපුරාගත හැකි බව නිලධාරීහු කියා සිටියහ. මෙම තත්ත්වය අවබෝධ කරගනිමින් දියර කිරි පරිභෝජනයට ජනතාව දිරිගැන්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබිණ.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වරුණ සමරදිවාකර, මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා සහ සාමාන්‍යාධිකාරී සුදත් මුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Posts