ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවේ අවලාද එල්ලවීම කනගාටුවට කරුණක්

Spread the love

මෙක්සිකෝ සහ එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසිංහ මහතා සමඟ ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින කොංග්‍රස් සාමාජික ඇල්බර්ට් බෙන්ජමින් මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද කොංග්‍රස් සාමාජිකයෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා (20 ඔක්.) අරලියගහ මන්දිරයේ දී හමු විය.

ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවටත්, රාජ්‍ය නායකයාටත් ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රසාදය වෙනුවට අවලාද එල්ලවීම කනගාටුවට කරුණක් බව එහිදී එක්සත් ජනපද කොංග්‍රස් සාමාජිකයෝ ජනාධිපතිවරයාට පවසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්බර්ට් බෙන්ජමින් මහතා සඳහන් කර ඇත්තේ, තමා මීට දෙවසරකට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවත්, එම කාලය සහ වර්තමානය සසඳා බැලීමේ දී ශ්‍රී ලංකාව විශාල දියුණුවක් ලබා ඇති බවත් ය. තමා ඇතුළු පිරිස කොළඹ, නුවර සහ උතුරු ප්‍රදේශයේ සංචාරය කළ බවත්, එම ප්‍රදේශවල සංවර්ධනය මෙන්ම විවිධ ජාතීන්ට අයත් ජනතාව සමගියෙන් ජීවත් වන ආකාරය දුටු බවත්, කොංග්‍රස් සාමාජිකයෝ මෙහිදී පැවසූහ. එසේම ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ව තමන් පැහැදී සිටින බව ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

ශ්‍රී ලංකාවේ සත්‍ය ප්‍රතිරූපය ලෝකයාට පැහැදිලි කර දෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී කොංග්‍රස් සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. තවද, උතුරු හා නැෙඟනහිර පළාත් ඇතුළුව මෙරට ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ව ද මෙහිදී ජනාධිපතිතුමා කොංග්‍රස් සාමාජිකයන් දැනුවත් කළේය.

එක්සත් ජනපද – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයන් හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇල්බර්ට් බෙන්ජමින් මහතාගේ නායකත්වයෙන් යුතු මේ කණ්ඩායමට කොංග්‍රස් සාමාජිකයන් වන ජැක් කිංග්ස්ටන්, ජෝශප් ෂූලර් මහත්වරු ද ඇතුළත් වෙති.


RSL

Related Posts