ජෝති ගී සුරේන්ද්‍ර ගැයීම හොඳ ද? නරක ද?

Spread the love

ඉරුදින විනෝදාස්වාද කලා ලිපිය තුළින් අපූරු ලිපියක් ඔබ වෙත ගෙන ඒමට අප සිතුවා. අප මෙම ලිපිය උපුටා ගත්තේ 2011 සැප්තැම්බර් මස 04 වන දි “සිළුමිණ”, ‘රසඳුන’ අතිරේකයෙන්.

ඒ වෙනුවෙන් අප “සිළුමිණ”, ‘රසඳුන’ අතිරේකයට ගෞරවපූර්වක ස්තුතිය පළකර සිටිමු.

 

ජෝති ගී සුරේන්ද්‍ර ගැයීම හොඳ ද? නරක ද?

අපට ඉන්නේ ජෝතිලා එක්කෙනයි

ඇත්තටම අසහාය ගායක එච්.ආර්. ජෝතිපාල ශූරීන්ගේ ගීත කිසිම කෙනෙක් ගයනවාට මම නම් කැමැතිම නැහැ. කවුරු කොහොම එම ගීත ගායනා කළත් ජෝතිගෙ හඬ නොවේ ය කියන එක මට නම් තේරුම් ගන්න පුළුවන්. මේ ජෝතිගේ ගීතය ගයන්නේ අසවල් ගායකයා ය කියා කියන්න පුළුවන්. දැන් බලන විට මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, මහත්වරුන්ගේ පුතුන් විසින් එතුමන්ලාගේ ගීත ගායනා කරනවා. ඒක තම පියාගේ ගීත අනන්‍යතාවයක් ඇතිව කියන්නේ. ඒකට හඬ උපතින් ම ඔවුන් සතුව තිබෙනවා.

තව කාලයක් යනවිට ජෝතිපාලයන්ගේ ගීත වෙනත් අයගේ හඩින් තැටි පටි වලට ගයල විකුණන විට හෝ එෆ්.එම්. නාලිකාවලින් වෙනත් අයගේ නම් වලින් ඔහුගේ ගීත ප්‍රචාරය වෙන විට…. සුරේන්ද්‍ර පෙරේරා ගයන ගීතයම ඉල්ලන්න පටන් ගනීවි. ඉතින් මා නම් කියන්නෙ මේ ගීත වෙන කවුරුවත් ගයන එක වහාම නවත්වන්න කියල.

ඕන තරම් ගීත රචකයො ඉන්න මේ රටේ අලුත් අලුත් ගීත නිර්මාණය කරල තම තමන්ගේ අනන්‍යතාවය රැකගෙන ගීත ලෝකයේ ඉහළටම යන්න කියල කියන්නයි වෙන්නේ ජෝතිගෙ ගීතවලට ඒ කටහඬට හානියක් නොකර. ජෝතිලා එක්කෙනයි අපේ රටේ ඒ හඬින් ගීත ගැයුවෙ. ඒ ජෝති විතරමයි. ඒ හඬ මරන්න දෙන්න එපා.
දයාංගනී බණ්ඩාර මාතර

 

සුරේන්ද්‍රගේ ගායනය හොඳයි

මිහිරි කට හඬක් ඇති සුරේන්ද්‍ර ජෝතිපාලයන් ගැයූ ගීත ගායනා කරනු අසන්නට ලැබීම රසික අපේ වාසනාවකි. ජෝතිගේ ගී ගැයූ දක්ෂතම ගායකයා සුරේන්ද්‍ර බව කවුරුත් පිළිගන්නා කරුණකි. සුනිල් ශාන්තයන් අද අප අතර නැතත් ඔහුගේ ස්වරයෙන් ම අයිවෝ ඩෙනිස් සුනිල් ශාන්තයන් ගැයූ ගී ගායනා කරනු අසන්නට ලැබීමත් එබඳු ම ය. ඇත්තෙන් ම ඒ අප අතර දැන් නැති ගායකයන් හා ඔවුන් ගැයූ ගීත රක්ෂණය කළ සෙයක් එයින් දැනේ. ජෝතිපාල ගැයූ ගීත සුරේන්ද්‍ර ගායනා කිරීමේ කිසිම වරදක් නැත.

අම්බලන්ගොඩ ලීලා විජේසූරිය

 

ඔය ඝෝෂා කරන හුඟක් දෙනා කාගෙ කාගෙ හරි පිහිටෙන් ක්ෂේත්‍රයට ආපු අය

ජෝතිපාලයන් අප රටේ බිහිවූ අග්‍රගණ්‍ය ගායන ශිල්පියෙක් බව ඇත්ත. නමුත් මා පෞද්ගලිකව දන්නා තරමින් ඔහු ද ජනප්‍රියත්වයට පැමිණියේ භාරතයේ හින්දි ගී තනුවලට අප රටේ ගේය පද ශිල්පීන් ලියූ ගීතවලින්. නමුත් ඔහුට භාරතීය හෝ දේශීය සංගීතය කියා වෙනසක් තිබුණේ නැහැ. එතරම් ම මධුර ව ඔහු ගායනා කළා.

තවද “කන්දෙන් කන්දට ලන්දෙන් ලන්දට’ සමූහ ගායනා ගීතය. එයත් දේශීය නිර්මාණයක්.

ඔහු පමණක් නොවෙයි. මෙ රටේ සිටින තවත් බොහෝ ගායන ශිල්පීන් ශිල්පිනියන් එසේ යි. නවකයින් තමාගේ ගීත ගායනා කරනවා නම් කර්තෘ භාගය ගෙවිය යුතුයි කියන සමහර අය ට ඔය කියන විදියට මොහොමඩ් රාෆිලාට, ලතා මංගේෂ්කාර්ලාට, මුකේෂ්ලාට කර්තෘ භාගය ගෙවන්න ගියොත් ගේ දොර පවා විකුණන්න වේවි.

ගීතයක් හෝ ගායකයෙක් හෝ ගායිකාවක් කවදාවත් පෞද්ගලික වස්තූ නොවෙයි. හැම අම්මෙක් ම දරු නැළවිලි ගී කියනවා. දරුවො කී දෙනෙක් එයින් නැළවෙනවාද? එවිට එහි නිර්මාණකරුට හෝ මුලින් ම ගැයූ තැනැත්තාට විතරක් ද එය සීමා වන්නේ? අයිති වන්නේ?

මෙතැන මුල් බැසගෙන තිබෙන්නේ ඊර්ෂ්‍යාව, කුහකකම හා ආත්මාර්ථකාමී බවයි මට නම් හැඟෙන්නේ. ගායනය වාදනය නිර්මාණය ආදී මෙකී නොකී අපේ කලාත්මක සංස්කෘතික උරුම රැක ගැනීමට තමන්ගේ දරු මල්ලෙක් නෑයෙක් නැතිනම් සහ ඒවා තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ආසා නම් එය කළ හැකි ශක්‍යතාව ඇති අන් අයකුට දිය යුතුයි. නමුත් එය තුරුම්පුවක් කරගෙන නවකයින් ඒ මත්තේ ම යැපීමත් කොහෙත් ම සුදුසු නැහැ. තමාගේ ම අනන්‍යතාවක් ගොඩ නඟා ගත යුතුයි. ඔය ඝෝෂා කරන හුඟක් අය කාගෙ කාගෙ හරි පිහිටෙන් ක්ෂේත්‍රයට ආපු අය නේ.

පී.බී. රූපසිංහ අංගම්පිටිය – පාදුක්ක

 

අනුමත කරන්න බෑ

ජෝතිගෙ ගීත සුරේන්ද්‍ර ගැයීම කිසිසේත් ම හොඳ නෑ. එය අනුමත කරන්න බෑ. මොකද ජෝති කියන්නෙ ජෝතිම පමණයි. ඒ ගීත අපට වෙනත් හඬකින් අහන් ඉන්න බෑ. හැබැයි ඈත අතීතයෙ ජෝති ගැයූ, අද අපට කිසි ලෙසකින් අහන්න නැති ගීත වෙනත් ගායකයන් ගැයූවට කමක් නෑ. ඒ ගීතත් විකාශය කරන හැම මොහොතකම මේ ගීතයේ මුල් ගැයුම එච්.ආර්. ජෝතිපාලයන්ගෙ කියල කියන්න තරම් සදාචාරාත්මක වෙන්නත් ඕන.

අවධාරණයෙන් කියන්නම් ඒ ඇරෙන්න ජෝතිගෙ අද අපට අහන්න පුළුවන් ගීත සුරේන්ද්‍ර නෙවී වෙන කවුරුවත් උලා කන්න උවමනා නෑ.
සුජීව ප්‍රියශාන්ත ඒකනායක, මාතර.

 

 

මම අහන්නෙ ජෝති ගීත පමණයි

එච්.ආර්. ජෝතිපාල ගායකයාණන් ගායකයන් අතුරින් නැගී විත් අලුත් මාදිලියේ ගීත ගැයූ ගීත කෝකිලයෙක්. ඔහුගේ මරණයෙන් පසු මා අදටත් අසන්නෙ ඔහුගේ ගීත විතරමයි. එම ගීත අර්ථවත් වචනවලින් ලස්සන තනුවලින් හදවත පලා යන අන්දමට කතා කර ගායනා කරපු හොඳම කලාකාරයෙක් අද කට හඬ පමණක් අපට ඉතිරි කොට අප අතරින් වෙන්ව ගියේ සදහටම නො එන ගමනක්.

ඉතින් ඔය අලුතින් එන ගායකයන් ජෝතිපාල මහතාගේ ගීත කියල ප්‍රසිද්ධියක් ලබන්නේ ජීවත්වීම සඳහා මුදල් උපයා ගැනීමට බව අසන දකින ඔබ සහ මා දන්නා කරුණකි. ජෝතිපාලයන් ගේ ගැයීමට ප්‍රථම ජෝතිපාලයාණන්ට උපහාරයක් වේවා යන්න සිහිපත් කරමින් මා මෙම ගීතය ඔහුගෙන් උපුටා ගත් දෙයක් බවට මහජනයාට මතක් කර ඉදිරියට යාමයි. යුතුකම් එසේ නම් ගැයුවාට කමක් නැත. මගෙ අදහස මා අසන්නේ ජෝතිපාල මහතාගේ ගීත පමණි.
එච්. පී. ද සිල්වා බලපිටිය

 

ඔබ උපයන්නේ සල්ලි මාමා ඉපැයුවේ මිනිසුන්

මගේ මාමා වන එච්.ආර්. ජෝතිපාලට වන අසාධාරණය තවදුරටත් නිහඬව බලා සිටීමට නොහැකි නිසා මම මෙම ලිපිය ලිවීමට අදහස් කරමි.

සුරේන්ද්‍ර ගෙන් එක් දෙයක් ඇසීමට මා කැමතිය. ඔබේ ‘වැහි පබළු සේල’ යන ගීතය නවකයකු තමන්ගේ ගීතයක් ලෙස සලකා ඇල්බමයක් කරයි නම් ඔබට ඇතිවන හැඟීම කුමක්ද? ඔබ සිතන පරිදි මෙම ගීතය ගැයුවාට වරදක් නැත, ඒ මක් නිසාද යත් ඔබට එම ගීතය අයත් නොවන බැවිනි. එය එසේ වුවහොත්, ගීත රචකයනාගෙනුත්, සංගීත නිර්මාණකරුවන්ගෙනුත් අයිතිවාසිකම් ලබාගෙන එය තමන්ගේ ම නිර්මාණයක් බව පවසමින් මුදල් උපයන්නේ නම් ඔබලාට ඇතිවන්නේ කුමන හැඟීමක් ද? එයට පිළිතුරු ඔබලා සතුව තිබේද?

මගේ මාමා වන ජෝතිපාල රියැලිටි වැඩසටහනකින් ආ ගායකයකු නොවන බව කවුරුත් දන්නා කරුණකි. එමෙන් ම මාගේ මාමාගේ දස්කම මැන බැලීමට ‘එස්.එම්.එස්’ මනාපය අවශ්‍ය නොවීය. එමෙන් ම ඔහු ඇගයීමට පත්වූයේ අන් අයගේ ගීත සොරකම් කර මුදල් බවට පත් නොකළ නිසාවෙනි. එහෙත් දැන් ඔබව, සමාජය අඳුනන්නේ අන් ගීත සොරකම් කරන්නකු ලෙස ය.

ඔබ සිතන අයුරු ගීතයක ප්‍රධාන අයිතිකරුවන්ගේ ගීත රචකයා සහ සංගීතඥයා පමණි. නමුත් ගායකයාට මෙම අයිතිය හිමි නොවන්නේ අප රටේ පමණි. අප ගීතයක් ගුවන් විදුලි නාලිකාවක හෝ රූපවාහිනී නාලිකාවක ඉල්ලන විට එය රචකයාගේ නමින් ඉල්ලන්නේ නැත. එනම් ගායකයාගේ නමින් අප ඉල්ලන්නේ මෙසේ කියා යි. “මට ජෝතිපාලගේ දිය කිඳුරිය සේ සාගරේ යන ගීතය දෙන්න” මෙය කවුරුත් ගුවන් විදුලි නාලිකාවකින් මට අහවලා රචනා කළ ගීතය දෙන්නැයි ඔබ අසා තිබෙනවාද? දිනක් මා රූපවාහිනිය නරඹමින් සිටින විට, ඔබේ රසිකාවියකු මට සුරේන්ද්‍ර අයියාගේ ‘දිය කිඳුරිය සේ සාගරේ’ යන ගීතය දෙන්න යයි කියූ විට මට ඇතිවන හැඟීම මෙතකැයි කියා නිම කළ නොහැකි විය. එමෙන් ම ඔබගේ සූරාකෑම කෙතෙක් දුරට විහිදී ගියේ ද යත් නවතම පරම්පරාව මගේ මාමාගේ ගීත ඔබේ ගීත යැයි පවසන විට අපට ඔබ ගැන ඇතිවන කලකිරීම ගැන කුමන කතා ද? ඔබ මගේ මවට සහ පියා දුන් පොරොන්දුව දැන් අමතක ද?

එමෙන් ම ඔබ රිගින් ටෝන්ස් වලට ද කිසිදු හිරිකිතයක් නොමැතිව මගේ මාමාගේ ගීත ඔබේ ගීත යැයි සලකා විකිණීම කෙතරම් යුක්ති සහගත ද? සමහරක් මොබයිල් අයිතිකරුවන් එච්.ආර්. ජෝතිපාල යන ගායකයකු හඳුනන්නේ නැති තරමට දැන දැනත් ක්‍රියා කිරීම සුළු කාලයකට බව දැන ගත යුතු ය. මා දන්නා පරිදි ඔබ මගේ මාමාගේ ගීත ප්‍රසංග වේදිකාවක ගායනා කිරීම සඳහා විශාල මුදලක් අය කර ගනී. එමෙන් ම රිගින් ටෝන්ස්වලින් ඔබට ලැබෙන ආදායම ඉතා විශාලය. එහෙත් මගේ මාමා ඉපැයුයේ මිනිසුන් ය. එම නිසා ම මිනිසුන් ඔහුට ‘හදවත රත්තරන් ජෝති’ නාමය දුන්නේ නම් නිරහංකාර ගතිගුණ නිසා ය. මෙලෙස සොරකම් කිරීම දිගින් දිගටම පැවැතුනහොත් මාගේ මාමාගේ නම ඉදිරි පරම්පරාව දැනගැනීම ඔබ විසින් වළකා ඇත. එය කෙතරම් සර්ව සාධාරණ යැයි ද? ඔබම පිළිතුරක් සපයා ගන්න.
මිහිරි වර්ණකුලසූරිය

(එච්.ආර්. ජෝතිපාලගේ නැඟණියගේ දියණිය)

RSL

Related Posts