ජනතාව අතර වෛරය, ක්‍රෝධය නොබෙදා එකමුතු වී වැඩ කරමු – ජනපති

Spread the love

ජනතාව අතර වෛරය, ක්‍රෝධය නොබෙදිය යුතු බවත්, එවැනි රටක් කිසිදු දිනක දියුණු වන්නේ නොමැති බවත්, එකමුතුකමින් ජයග‍්‍රහණය ලැබිය හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද සියලු දෙනාම පාහේ කතා කරන්නේ ලංකාවේ සුන්දරත්වය පිළිබඳවයි. මම ආඩම්බරයෙන් කියන්න කැමතියි පසුගිය දවසක විදේශ දූත මණ්ඩල ප‍්‍රධානීන් මුණ ගැසුණු අවස්ථාවේ ලංකාවේ පිරිසිදු බව සහ එහි සුන්දරත්වය ගැන කතා කිරීම සම්බන්ධ ව. එය අපිට ආඩම්බරයක් යැයිද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය මගින් සංවිධානය කළ පළාත් පාලන ජාතික මහ සමුළුව ඊයේ(06) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේදීය.

තම ගම, නගරය ලස්සනට තබා ගත යුතු බවත්, ඒ සඳහා පළාත් පාලන නියෝජිතයින් වන ඔබට විශාල වගකීමක් පැවරෙන බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

අපට ඇති දිගු ඉතිහාසයක් සමඟ අපේ රට තුළ ගම් සභා ක‍්‍රමය පැවතුණ බව සඳහන් කළ ජනාධිපතිතුමා, ලොව බොහෝ රටවලට අපේ තරම් දියුණු ශිෂ්ටාචාරයක් නොතිබූ බවත්, අතීතයේ ගම්සභා ක‍්‍රමය මඟින් ගමේ තිබූ ප‍්‍රශ්න විසඳුණු බවත් සඳහන් කළේය.

උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් නියෝජනය කරන පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ගේ සේවය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා, වසර 30ක් උතුර, දකුණ ඇතුළු මුළු රටම දුක් විඳි බව සිහිපත් කළේය. දැන් සාමය උදා වී ඇති නිසා ගම දියුණු කිරීමට සියලුදෙනා සහයෝගයෙන් වැඩ කළ යුතු බව පෙන්වා දුන්නේ ය.

පළාත් පාලන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලු ම පාර්ශව ඒකරාශී කර ගනිමින් යහපාලනය, සහභාගීත්වය, කළමනාකරණය සහ විශිෂ්ට සේවා සම්පාදනය ඇතුළු විවිධ නිර්නායකයන් පදනම් කර ගනිමින් පළාත් පාලන ආයතන 335ක් අතරින් තෝරාගත් පළාත් පාලන ආයතන 9ක් සඳහා ඇගයුම් සම්මාන ලබා දුන් අතර, ඝන කසල කළමනාකරණය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන අතර පැවැති තරගයෙන් බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාව, කුලියාපිටිය නගර සභාව හා නුවරඑළිය මහනගර සභාව ස්වර්ණ සම්මාන හිමි කර ගත්හ.

පළාත් පාලන ආයතන අතර නිසි කළමනාකරණය යටතේ පැවැති තරගයෙන් “ස්වර්ණ පුරවර” සම්මානය වාරියපොළ ප‍්‍රාදේශීය සභාව හිමි කරගත් අතර, නගර සභාවට හිමි සම්මානය කුලියාපිටිය නගර සභාවද, මහ නගර සභාවට හිමි සම්මානය මාතර මහ නගර සභාවද දිනා ගත්තේය.

මෙම අවස්ථාවට බැසිල් රාජපක්ෂ, එස්.බී. නාවින්න, ඒ.එල්.එම්. අතාවුල්ලා යන අමාත්‍යවරු ද, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු පිරිසක්ද එක් ව සිටියහ.

RSL

Related Posts