කොළඹ අග නාගරික සංවර්ධන අධිකාරිය නිසැකවම පිහිටුවනවා – ජනපති

Spread the love

රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් පසුගියදා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපතිතුමා කියා සිටියේ කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ ලොව ආකර්ෂණීය සහ සුපිරි පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්කිරීම සඳහා එම ප්‍රදේශවලට අදාළ පළාත් පාලන ආයතන පරිපාලනය එසේම තිබියදී කොළඹ අග නාගරික සංවර්ධන අධිකාරිය නිසැකවම පිහිටුවන බවයි.

ඒ අනුව කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස යන මහ නගර සභා, කොළොන්නාව නගර සභාව සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන බල ප්‍රදේශ ආවරණය වෙන පරිදි නව අග නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවනු ඇති අතර මෙම නව අග නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවුවද අදාළ පළාත් පාලන ආයතනයන්හි පුරපතිවරු, නියෝජ්‍ය පුරපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරුන්ගේ බලතල අඩු නොවන බවද ජනාධිපතිතුමා අවධාරණය කෙළේය.

එමෙන්ම කොළඹ මහ නගර සභාවේ බලය එ.ජා.ප.යට හිමි වුවද එම මහ නගර සභාවට ආණ්ඩුවෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් අකුරටම ඉටු කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

කොළඹ අග නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවීමත් සමඟම කොළඹ නගරය ආශ්‍රිත නගර පරිසර හිතකාමී ලෙස අලංකරණය කිරීම කැළි කසළ බැහැර කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නාගරික ජනතාවට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

වසර කීපයකින් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ ආකර්ෂණීය සහ ආශ්චර්යවත් ලෙස සංවර්ධනය කිරීම රජයේ එකම අරමුණ බව ද ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

RSL

Related Posts