කොවිඩ් රෝග ලක්ෂණ ගැන සහ ආසාදිතයෙකු නම් කළ යුතු දේ ගැන යළි මතකයට නගාගනිමුද ?

Spread the love

කොවිඩ්-19 වසංගතයේ වේගවත් ව්‍යාප්තිය සමග එහි රෝග ලක්ෂණ ගැන යළිත් ජනතාවට මූලික අවබෝධයක් ලබාදිය යුතු බව සෞඛ්‍ය අංශ කියනවා. ඔවුන් කියන්නේ බොහෝ පුද්ගලයින් තුළ මූලික රෝග ලක්ෂණ පැහැදිලිව දැකගත හැකි තත්ත්වයක් තුළ පවා ඒ ගැන නිසි අවබෝධයක් නැති විට ඔවුන් රෝග ව්‍යාප්ත කරන ප්‍රමුඛ පුද්ගලයින් බවට පත් වන බවයි.

කොවිඩ් ආසාදනයේ මූලික රෝග ලක්ෂණ 04ක් තිබෙනවා.

  1. උණ,
  2. කැස්ස,
  3. උගුරේ අපහසුතාව,
  4. හුස්ම ගැනීමේ අපහසුතාව.

COVID-19 හි වඩාත් පොදු රෝග ලක්ෂණ මේවා වේ. සමහර අය ආසාදනය වී ඇති නමුත් කිසිදු රෝග ලක්ෂණයක් වර්ධනය නොවන අතර අසනීප බවක් දැනෙන්නේ නැත.

මේ රෝග ලක්ෂණ තිබූ පමණින් ඔබ corona ආසාදිත යැයි සිතිය නොහැකිමුත් කොරෝනා වෛරස ආසාදනයේ ද දක්නට ලැබෙන රෝග ලක්ෂණ මේවා ම වන බැවින් ඔබගේ ආදරණීයයන් ගේ ආරක්ෂාව පිණිස පහත පියවරයන් අනුගමනය කරන්න. මෙය පුරවැසියෙකු ලෙස ඔබගේ ජාතික වගකීමකි.

  1. වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මිස වෙන කිසිදු කාරණයක් සඳහා නිවසින් පිටව නොයන්න
  2. හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න.
  3. නිවසේ ඔබ සහ අනෙක් අය අතර අවම වශයෙන් මීටරයක දුරක් තබා ගන්න
  4. හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම, දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න.
  5. නිවසට ආගන්තුකයන් ගෙන්වා නොගන්න..
  6. ඔබ මෙන්ම අනෙකුත් නිවැසියන් ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුය.
  7. තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න..
  8. කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න.
  9. ඔබ භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න..
  10. වඩාත්ම වැදගත් දෙය නම් ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම් හෝ corona රෝග ආසාදිතයෙකු හෝ එසේ සැක කළ හැකි පුද්ගලයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න.
  11. 1999 උපදෙස් සේවාව ඇමැතීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ආදී ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා ගත හැක
  12. ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.

  ඉහත රෝග ලක්ෂණ සඳහන් ඔබ,

පසුගිය දින 14 ඇතුලත පිට රටක සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙක් නම් හෝ සැක කරන ලද COVID-19 රෝගියකු සමග සමීප සම්බන්ධතා පැවැත්වුයේ නම් හෝ එසේ ගමන් හෝ සම්බන්ධතා ඉතිහාසයක් නොමැති වුවත් විශේෂඥ වෛද්‍යවරයකු විසින් තහවුරු කරන ලද උග්‍ර නිව්මෝනියා තත්වයකින් පෙලෙන්නේ නම් වෛද්‍ය උපදෙස් සඳහා ඉතා ඉක්මනින් ලගම ඇති රජයේ රෝහල වෙත යොමු වන්න.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

Related Posts