කෘත්‍රීම පිළිබෝධනාශක තහනමට ස්විට්සර්ලන්තයත් සූදානම් – තීන්දුව ගන්නේ ‘ජනමත විචාරණයකින්‘

Spread the love

සූරිච් ගොවි සංගමයේ (Zurich Farmers Association) සභාපති මාටින් හාබ් පැවසුවේ “ගොවිතැන් කිරීම යනු කුමක්ද යන්න පිළිබඳව නාගරිකයින් මෙලෝ දෙයක් (හෝඩුවාවක්වත්) දන්නේ නැහැ. ඉතින්, ඔවුන්ගේ ගෙවත්තේ ජනේලය ඉදිරිපිට තක්කාලි ගස් දෙකක් තිබේ නම්, ඔවුන් සිතන්නේ ඔවුන් ගොවිතැන තේරුම් ගෙන කාබනික ගොවිතැන් කරන්නේ කෙසේදැයි දන්නා බවයි.

ස්විට්සර්ලන්තය යනු ස්වභාවධර්මයේ අතුරු පදයකි – නමුත් පරිසරවේදීන් පවසන්නේ එම ප්‍රතිරූපය දෝෂ සහිත බවයි

ශ්‍රී ලංකා තුළ රසායනික පොහොර සහ කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා ගත් තීරණය මේ වන දැඩි සංවාදයක් බවට පත්ව තිබෙනවා. ඒ තීන්දුව විවේචනය කරන බොහෝ දෙනෙක් පවසන්නේ සමාජය තුළ විධිමත් සංවාදයකට ඉඩක් නොතබා ජනාධිපතිවරයා ‘එක පෑන් පාරින්“ මෙවැනි තීරණයක් ගැනීම වැරදි සහගත බවයි.

එසේම මෙම තීන්දුව ගන්නා විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ‘ලෝකයේ රසායනික පොහොර සහ කෘත්‍රීම පළිබෝධනාශක තහනම් කළ ‘පළමු රට‘ බවට ලංකාව පත් කරන බවයි.

ඒත් අද (13) බී.බී.සී ලෝක සේවය පළ කළ වාර්තාවකට අනුව ස්විට්සර්ලන්තය කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කළ දෙවැනි රට බවට පත්වීමට නියමිත අතර පළමු රට භූතානයයි.

මෙහිදී වැදගත් වන්නේ ලෝකයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන ස්විට්සර්ලන්තය මෙම තීරණය ගැනීම පුරවැසියන්ගේ ඡන්දය නැතහොත් ජනමත විචාරණයකට යොමු වීමයි. දේශපාලනඥයින්ගේ සහ අවස්ථාවාදී බලපෑම් කණ්ඩායම්වල බලපෑමට යටත් නොවීම මෙවැනි ජාතික වශයෙන් අති සංවේදී තීරණයක් ජනතාවගේ බහුතර කැමැත්තෙන් ගැනීම ඇත්තෙන්ම වැදගත් මෙන්ම අප ද අවධානයට ගත යුතු කරුණක්.

මේ බී.බී.සී වෙබ් අඩවිය විසින් අද (13) ප්‍රකාශයට පත් කළ Swiss to vote in pesticide ban referendum නම් ලිපියේ දළ පරිවර්තනයක්.

කෘත්‍රිම පළිබෝධනාශක (synthetic pesticides) තහනම් කළ ලෝකයේ දෙවැනි රට බවට පත්වීමට ස්විට්සර්ලන්ත පුරවැසියන් ජනමත විචාරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. කෘත්‍රිම පළිබෝධනාශක භාවිතා කරන ගොවීන්ට සහනාධාරය අවසන් කිරීමට එක් පියවරක් යෝජනා කරන අතර තවත් පියවරක් ලෙස වසර 10 ක් තුළ ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කරනු ඇත.

මෙම යෝජනාවට පක්ෂපාතී ආධාරකරුවන් පෙන්වා දෙන්නේ කෘත්‍රීම පළිබෝධනාශක භාවියත ජලයට, ශාක, සතුන් සහ කෘමීන්ට බලවත් හානියක් බවයි. විශේෂයෙන් ජලයේ අන්තර්ගත කෘත්‍රිම පළිබෝධනාශක මට්ටම ගැන ඔවුන් බලවත් කණස්සල්ලට පත්වේ.

නමුත් ස්විට්සර්ලන්ත ගොවීන් අනතුරු අඟවන්නේ මෙම යෝජනා මගින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ව්‍යාපාරයෙන් ඉවත් කරනු ඇති බවයි.

පළිබෝධනාශක යනු පළිබෝධ පාලනය කිරීම සඳහා භාවිතා කරන රසායනික හෝ ජීව විද්‍යාත්මක කාරක වේ.

කෘත්‍රිම පළිබෝධනාශක තහනමට අමතරව, ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනය, පොසිල ඉන්ධන සඳහා නව බද්දක් සහ හදිසි කොවිඩ් -19 අරමුදල් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් අද (ඉරිදා) ඡන්දය ප්‍රකාශ කිරීම ද සිදු වේ.

ස්විට්සර්ලන්තයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ අර්ථය වන්නේ ජාතියේ සියලුම ප්‍රධාන තීරණ ජනතාවගේ ඡන්දය මත පදනම්ව ගනු ලබන බවයි. (ජනමත විචාරණයක් මගින්)

‘දැඩි විවාදය පහව යන්නේ නැත’

ජනමත විචාරණයේ දී අදාළ යෝජනාව අනුමත වුවහොත්, කෘතිම පළිබෝධනාශක දැනටමත් තහනම් කර ඇති ලොව පුරා නගර සහ කලාප අතළොස්ස අතර ස්විට්සර්ලන්තය ද ඇතුළත් වන ඇත.

ලොව විශාලතම පළිබෝධනාශක නිෂ්පාදකයා වන Syngenta සමාගමේ මූලස්ථානය ද ස්විට්සර්ලන්තය වන බැවින් එය 2013 දී භූතානය විසින් පනවන ලද තහනමට වඩා විශාල ගෝලීය වැදගත්කමක් දරනු ඇත.

“මම ඡන්දය දීමට යන්නේ කෘත්‍රිම පළිබෝධනාශක තහනමට පක්ෂවයි. අපි අනාගතය ගැන සිතා බැලිය යුතුයි. පළිබෝධනාශක අපගේ සෞඛ්‍යයට හානි කරයි” ජිනීවාහි පදිංචි මාරි ලෙන්බවුස් පැවසුවාය.

මෙම යෝජනා දෙකටම තරුණ නාගරික ඡන්ද දායකයින්ගේ සහාය ලැබේ.

නමුත් ස්විට්සර්ලන්ත ගොවීන් පවසන්නේ ඔවුන් දැනටමත් යුරෝපයේ දැඩි නීතිරීතිවලට අනුකූල බවයි. පසුගිය වසර 20 තුළ ඔවුන්ගේ රැකියා සහ ආදායම් පහත වැටීම ඔවුන් දැක ඇති අතර දැන් ඔවුන් කෝපයට පත්ව ඇති බව බීබීසීයේ ජිනීවා නුවර වාර්තාකරු කියයි.

සූරිච් ගොවි සංගමයේ (Zurich Farmers Association) සභාපති මාටින් හාබ් පැවසුවේ “ගොවිතැන් කිරීම යනු කුමක්ද යන්න පිළිබඳව නාගරිකයින් මෙලෝ දෙයක් (හෝඩුවාවක්වත්) දන්නේ නැහැ. ඉතින්, ඔවුන්ගේ ගෙවත්තේ ජනේලය ඉදිරිපිට තක්කාලි ගස් දෙකක් තිබේ නම්, ඔවුන් සිතන්නේ ඔවුන් ගොවිතැන තේරුම් ගෙන කාබනික ගොවිතැන් කරන්නේ කෙසේදැයි දන්නා බවයි.”

කෘත්‍රිම පළිබෝධනාශක තහනමට විරුද්ධ ස්විට්සර්ලන්තයේ ගොවි බලවේග ශක්තිමත් වන අතර නවතම ඡන්ද විමසීම්වලින් පෙනී යන්නේ ඔවුන් බොහෝ දුරට ජයගනු ඇති බවයි.

ඡන්දදායකයින් තහනමක් ප්‍රතික්ෂේප කළත් පළිබෝධනාශක පිළිබඳ මෙම විවාදය කෙතරම් තීව්‍ර වී ඇත්ද යත් එය පහව නොයන බව ජිනීවා නුවර බී.බී.සී වාර්තාකාරිනිය පවසයි.

‘‘ රටේ පෞරාණික පරිසරය ආරක්ෂා කළ යුතු යැයි සියලු දෙනා එකඟ වෙති.නමුත් කරන්නේ කෙසේදැයි ඔවුන් අතර එකගත්වයක් නැත‘‘

පරිවර්තක සටහන – ශ්‍රී ලංකාවේ රසායනික පොහොර තහනම ගැන ද රජයට මෙවැනි ජනතාවාදී ප්‍ර වේශයක් ගත හැකි නම් ඊනියා නාගරිකයින්ට සහ සුරිච් ගොවි සංගමයේ සභාපතිවරයා පවසන ආකාරයට නිවසේ ජනේලය අසල තක්කාලි ගස් දෙකක් වවාගෙන කාබනික ගොවිතැන තැන පම්පෝරි ගසන පිරිසට ගොවීන් යස පාඩමක් කියා දෙනු ඇති බව සහතිකය.

Related Posts