කිරි ගව පාලනයේදී සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම, එහි වැදගත්කම හා පෝෂක සංරක්ෂණය

Spread the love

සාගරිකා හිටිහාමු, ජේෂ්ඨ පර්යේෂණ  නිලධාරි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය

කිරි ගව පාලනය අතීතයේ සිට මේ දක්වා දායම් උත්පාදන ක්‍රියාවලියක් ලෙස ග්‍රාමීයව ප්‍රචලිතය. මෙහිදී පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේලක් සතුන් සඳහා සැපයීම් ප්‍රබල අභියෝගයකි. නූතනයේ ගොවීන්, සතුන් හට  සාන්ද්‍ර ආහාර ලබාදීම  මගින් පමණක්  ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාග ගත හැකි බව විශ්වාස කරයි.  

කෙසේ වෙතත් තත්වයෙන් උසස් තන්තුමය ආහාර ලබාදීම මගින් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාග ගත හැකි බව බොහෝ දෙනාගේ අවධානයට යොමුවී  වී නොමැත. එබැවින් තත්වයෙන් උසස්    තෘණ ආහාර   සැපයීම ගැන අවධානය යොමු කළ යුතු වේ.

කිරි ගව පාලනයේදීදී දැරීමට සිදුවන ප්‍රධාන පිරිවැයක් ලෙස ආහාර සැපයීමේ පිරිවැය හදුනාගෙන ඇත. ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර සැපයීම සත්ත්ව නිෂ්පාදනයේ තිරසාරභාවයටමනා පිටුවහලක් වේ. තත්ත්වයෙන් උසස් ආහාර නිපදවීම හා ඒවාසත්ත්ව පරිභෝජනය සදහා ලබාදීම මගින් පොදුවේ රටක ආහාර සුරක්ෂිතභාවය ඉහළ නැංවීමට ලබාදෙන්නේ ඉමහත් දායකත්වයකි.

ගව පාලනයේදී පෝෂණ ගුණයෙන් ඉහළ තෘණ හා සාන්ද්‍ර ආහාර සැපයීම මගින් නිෂ්පාදන ගුණාත්මකභාවය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි.සතුන් නිරෝගිමත්ව හා ශක්තිමත්ව තබාගැනීම සදහා පෝෂක සමතුලිත ආහාර වේලක් ලබාදීම අත්‍යාවශ්‍ය වේ.එමගින් සතුන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගත හැකි අතර නිරෝගි බවින් යුතු ඉහළ නිෂ්පාදන විභවයක් ඇති සතුන් බිහිකිරීමේ හැකියාවද ඉහළ නැංවේ. ශ්‍රී ලංකාවේ ගව පාලනය සිදුකිරීමේදී බෙහෙවින් ස්වභාවික තෘණ මගින් පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නා අතර සාන්ද්‍ර ආහාර සදහා වානිජ වශයෙන් නිපදවන ආහාර යොදා ගනී.

සාන්ද්‍ර ආහාර ලෙස පොල් පුනක්කු, සහල් නිවුඩු, බියර් මන්ඩි, පරිප්පු පොතු යනාදිය භාවිතා කෙරේ. වානිජ මට්ටමින් නිපදවන සත්ත්ව ආහාර හා අනෙකුත් සාන්ද්‍ර ආහාර ද්‍රව්‍යයන්හිද මිල අධිකය. භුමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව කුඩා රටක් වන බැවින් ගව පාලනය සදහා තෘණ භූමි සකස් කිරීම තරමක් අපහසු කාර්යයකි. එසේම ශ්‍රී ලංකාවේ තුනෙන් දෙකකටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක් වියළි කලාපයට අයත් වන බැවින්, වියළි කාලවලදී නැවුම් තෘණ ලබාගැනීම බෙහෙවින් අසීරු කාර්යයකි.

බොහෝ කිරි ගොවීන්ගේ අදහස වන්නේ සාන්ද්‍ර ආහාර නොමැතිව කිරි නිෂ්පාදනය ඉහළ නංවාලිය නොහැකි බවයි. කෙසේ වෙතත් ක්‍ෂේත්‍රයේවිශේෂඥයින්පවසන්නේ තත්ත්වයෙන් උසස් තෘණ හා නියමිත පරිදි  ලබාදීම මගින් හොද නිෂ්පාදන ධාරිතාවයක් ඇති සතෙකුගෙන් කිරි ලීටර 8ක් පමණ දිනකට ලබාගැනීමේ හැකියාව පවතිනබවයි.

මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ ගව පාලනයේදී පෝෂක ආහාර ලබාදීමේ වැදගත්කම සොයා බැලීම සහ තත්ත්වයෙන්උසස් ආහාර සංරක්ෂණය කර සතුන්ට ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබද සොයා බැලීමයි. මෙහි දී විශේෂයෙන්ම නැවුම් තෘණ සැපයීම, පිදුරු සැපයීම, ඒවායේ පෝෂණ ගුණත්වය ඉහළ නැංවීම මෙන්ම ආහාර සංරක්ෂණ ක්‍රමවේද පිළිබදවද සොයා බැලේ. මෙම ලිපිය සැකසීම සදහාඅවශ්‍ය තොරතුරු සාහිත්‍ය විමර්ශනයන් තුළින් හා කිරි ගව පාලනය සම්බන්ධව සිදුකළ අධ්‍යනයන්ද ගොවීන් හා අනෙකුත් ක්‍ෂේත්‍රයට අදාළ නිලධාරින්  සමග සිදුකළසාකච්ඡාද උපයෝගි කර ගන්නා ලදි.

ගව පාලනයේ ප්‍රධාන ආහාර

ගව පාලනයේදී සත්ත්ව පෝෂණය සදහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩ තුනක් යොදා ගැනේ.

  1. හරිත හෝ නැවුම් තෘණ ආහාර
  2. වියළි තෘණ ආහාර
  3. සාන්ද්‍ර ආහාර

නැවුම් තෘණ හා වියළි තෘණ යන ආහාර වර්ග දෙක රළු ආහාර ලෙස හැදින්වේ. ඒවා තුළඅධික තන්තු ප්‍රමාණයක් අඩංගු වේ. මේවායේ ඒකකයක අඩංගු පෝෂණ පාදාර්ථ ප්‍රමාණය අඩුය. විද්‍යාත්මක ලෙස සතුන්ට ආහාර ලබාදීමේදී විවිධ ආහාරවල අඩංගු පෝෂණ සංඝටක ප්‍රමාණයන් විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම ඉතා වැදගත්ය. සතුන්ගේ පෝෂණ අවශ්‍යතා ඔවුන්ගේ ‘ශාරිරික අවස්ථාව‘ අනුව වෙනස්වේ.උදාහරණ ලෙස කිරි ගව පාලනයේදී පැටවුන් සදහා වෙනම ආහාර සලාකයක්ද, කිරි දෙනුන්, පැටවුන් බිහිකිරීමට සිටින සතුන්, පිරිමි සතුන් ආදි සත්ත්ව කොට්ඨාසය අනුව හා සතුන්ගේ ශාරිරික තත්වයන් මත ආහාර සලාක වෙනස්වේ. කිරි ගව පාලනය සාර්ථකව පවත්වාගෙන යාම සදහා සතුන්ට නියමිත පරිදි ආහාර ලබාදීම ඉතා වැදගත්ය.

ආහාර සංරක්ෂණය

වර්තමානයේ සුළු පරිමාණ කිරිගොවීන් බොහෝ විට සත්ත්ව ආහාර සපයා ගනු ලබන්නේ ස්වභාවික තෘණ භූමි උපයෝගි කරගෙනය. එබැවින් කිරි නිෂ්පාදනය ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය ආහාර ස්වභාවික තෘණ යොදාගෙන ලබාගැනීමවියළිකාලවලදී තරමක් අපහසු කාර්යයකි. එනිසා වියළි කාලවලදී ප්‍රමාණවත් තරම් ගුණාත්මක ආහාර සැපයීම සදහා ආහාර සංරක්ෂණය ඉතා වැදගත්වේ.

ප්‍රධාන වශයෙන් ගව ආහාර සංරක්ෂණය කළ හැක්කේ පිදුරු හෝ සයිලේජ නිෂ්පාදනය කිරීම මගිනි. තෘණ අතිරික්ත ලෙස පවතින කාලවලදී පෝෂණ තත්ත්වය ප්‍රශස්ථ ලෙස පවතින 10% ක පමණ මල්පිපී ඇති තෘණ කපා වියළා ගැනීම මගින් පිදුරු හා සයිලේජ් සාදා ගත හැකිය.

කෙසේ වෙතත් ලංකාවේ බොහෝ ගොවීන් තම සතුන්ට සයිලේජ් හෝ පිදුරු ආහාර ලෙස ලබාදීම ඉතා අල්ප වශයෙන් සිදුවේ. මේ හේතුව නිසා සංරක්ෂණය කළ ආහාර අනුභවයට සතුන් මැලිකමක් දක්වයි. කෙසේ වුවද මෙම ආහාර ක්‍රමාන්‍රකූලව සතුන්ට ලබාදී ඔවුන් එම ආහාර සදහා හුරු කරලීම ඉතා වැදගත් වේ. එසේම වියළි කාලවලදී ආහාර රුචිය වැඩිකරන ආහාරයක් ලෙස සයිලේජ් ලබාදීමද සිදුකළ හැකිය. වියළි කාලවලදී පෝෂණ ගුණත්වයෙන් ඉහළ ආහාර ලබාදීම මගින් වර්ෂය පුරා අඛණ්ඩව ඉහළ කිරි ආදායමක් ලබාගැනීම සදහා ආහාර සංරක්ෂණය කිරීම ඉතා වැදගත්ය.කාලගුණික තත්ත්වයන් හා පවතින සම්පත් මත පදනම්ව තණකොළ හා වෙනත් ආහාර පිදුරු හෝ සයිලේජ් ලෙස සංරක්ෂණය කළ හැකිය.

පිදුරු සෑදීම

සකස් කළ පිදුරු

තෘණ සහ රනිල ශාඛ පිදුරු  සැදීම සදහා භාවිතා කළ හැකිය. සත්ත්ව ආහාරවල අඩංගු පෝෂණ පදාර්ථ එලෙසම පවත්වා ගනිමින් තත්ත්වයෙන් උසස් ආහාර ලබාදීමේ අරමුණින් පිදුරු නිපදවීම සිදුවේ. පිදුරු සෑදීමේ දී තෘණ හා  අනෙකුත් ආහාරවල අඩංගු ජලය ප්‍රමාණය අඩුකරන බැවින් ප්‍රවාහනය හැසිරීම හා ගබඩා කිරීම පහසුය.එමෙන්ම ඒවා සකස් කිරීමේදී තෘණ හා අනෙකුත් ආහාර අඩු කාලවලදී පාවිච්චි කිරීමට හැකිවන පරිදි තෙතමනය අඩුකිරීම සිදුවන අතර ඒ අනුව පිදුරුවල තෙතමන සාමාන්‍ය 15% දක්වා අඩු කිරීම කළ යුතුය.

පිදුරු සැදීමේ දී වැදගත් වන කරුණු

1. පිදුරු සෑදීම සදහා අස්වනු නෙළීමේදී පුර්ව සපුෂ්පක හෝ අපුෂ්පක අවධියේ තෘණ හා රනිල ශාඛවල අස්වනු නෙළිය යුතුය.

2.  වැසි රහිත දිනවලදී අස්වැන්න නෙළීම වඩා උචිතය.

3. නැවුම් තෘණ වියළීමේදී තද අව්වට නිරාවරණය වීම සුදුසු නොවන අතර නැවුම් තෘණ වියළීමේදී සෙවන සහිත ස්ථානවල වියළීම වඩා සුදුසුය.

4. හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි කිහිප විටක් සුළං වැදීමට සැලැස්වී කළ යුතුය

5. වියළීමෙන් අනතුරුව ආවරණයක් සහිත ස්ථානයක හැකි ඉක්මණින් ගබඩා කිරීම සුදුසුය

6. වියළාගත් පිදුරු වල තෙතමනය 15% දක්වා අඩුකර ගබඩා කළ යුතුය

රනිල පැලෑටි උපයෝගී කර ගනිමින් පිදුරු  සකස් කර පිදුරු මිටි සකස් කරන්නේ නම් ඒ සදහා අවශ්‍ය රනිල අස්වැන්න නෙළාගත යුතු වන්නේ25% -50% අතර මල් හට ගන්නා  අවස්ථාවේදීය.

අස්වැන්න ලෙස නෙළු රනිල ශාඛ හෝ තෘණ වියළීම සදහා කෙතෙහි තුනී කිරීම සිදුකරන අතර වියළීම ඉක්මන් කිරීම සදහා කිහිප වතාවක් ඒවා පෙරළීමට ලක්කරමින් වේලාගැනීම සිදුකළයුතුය. මෙහිදී තද අව්වේ වියළීම මගින් තෘණ හා රනිල ශාඛවල ඇති පෝෂණ පදාර්ථ විනාශ විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන්  විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය.

මෙහිදී දැඩි හිරුඑළිය උපයෝගි කර ගැනීමට වඩා කෘත්‍රීමව වියළීම මගින් තත්ත්වයෙන් උසස් පිදුරු නිපදවීමේ හැකියාව පවතී.කෘත්‍රීම වියළීමේදී කපා අතුරා ගත් තෘණ හෝ රනිල ශාඛ මතතරමක් උෂ්ණත්වය වැඩි සුළං ධාරා කිහිප විටක් ගමන් කරවීම මගින් වියළාගැනීම සිදුකෙරේ. මෙම ක්‍රමය මගින් තත්වයෙන් ඉහළ පිදුරු සකසා ගතහැකි වුවත් ඒ සදහා අධික පිරිවැයක් දැරීමට සිදුවේ. එබැවින් මෙම ක්‍රමය කුඩා පරිමාණයේ ගොවීන්ට භාවිතා කළ නොහැකිය. කෙසේ වෙතත් පරිසරයේ ජලවාෂ්ප අඩු අවස්ථාවල හිරු එළිය උපයෝගි කරගනිමින් අනාගත ප්‍රයෝජනය සදහා වියළි තෘණ (පිදුරු) සාදාගැනීමේ හැකියාව පවතී.

පිදුරු ගබඩා කිරීමේදී තෙතමනය 15% දක්වා අඩුකරගැනීම තුළින් ඒවා පෝෂණ ගුණයෙන් පවත්වා ගැනීම හා විනාශ වීමකින් තොරව ගබඩා කර තබාගැනීමට හැකියාව ඇත.කෙසේ වෙතත් පිදුරු ගබඩා කරන ස්ථානවලට හොඳින්වාතාශ්‍රය ලැබිය යුතුය.

පිදුරු ගබඩා කිරීමේදී ජලය ප්‍රමාණය 15% වඩා වැඩිවු විට එම පිදුරු ස්වභාවිකව වියෝජනය වීමට පටන් ගනී. එසේම ඒවා ආශ්‍රිතව දිලීර හා බැක්ටීරියා වර්ධනය වීමක්ද දැකගත හැකිය. මෙලෙස වියෝජනයවු පිදුරු සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීම සුදුසු නොවේ. එබැවින් තත්වයෙන් උසස් පිදුරු නිෂ්පාදනය සදහා පිදුරු නිෂ්පාදනයේදී ඉහතින් සදහන් කළ කරුණු ගැන අවධානය යොමුකළ යුතුය.

කපාගත් තෘණ ඔක්සිජන් නොරැඳෙන සේ ගබඩා කිරීම්

සයිලේජ් නිෂ්පාදනය

‘‘සයිලේජ්‘‘ යනු කෘතිමව හෝ ස්වභාවිකව ඇසිඩ් යොදාගෙන ගව ආහාර වන තෘණ බෝග අවශේෂ සහ අනෙකුත් සතුන්ට ආහාරයට ගත හැකි කාර්මික අවශේෂ සංරක්ෂණය කිරීමයි.සයිලේජ් සාදා ගැනීම සදහා යොදාගත හැකිමුලික ද්‍රව්‍ය ලෙස නැවුම් තෘණ, රනිල ශාක, අනෙකුත් බෝග වන බඩ ඉරිගු, කුරක්කන්, ඕට්ස්, තිරිගු සහ සෝගම් වැනි භෝග අවශේෂ යොදා ගත හැකිය.

මෙහිදී නිර්වායු ස්වසනය යටතේ ආහාර සංරක්ෂණය කෙරේ. සයිලේජ් නිෂ්පාදනයේ දී තෘණ හා භෝග අවශේෂ ලැක්ටික් ඇසිඩ් යොදා සංරක්ෂණය කිරීම බහුලව සිදුකෙරේ. මෙහිදී නිර්වායු තත්ත්ව යටතේදී මෙම තෘණ පැසීමට ඉඩ හැරීම සිදුවේ. මෙම ක්‍රියාවලියේදී ශාක කොටස්වල ඇති ජලයේ දියවන කාබෝහයිඩේඩ් පැසවීම, ලැක්ටික් ඇසිඩ් වියෝජනය කරන බැක්ටීරියා මගින් සිදුකරයි. එය සිදුකිරීමේදී ලැක්ටික් ඇසිඩ් හා සුළු වශයෙන් ඇසිටික් ඇසිඩ් නිෂ්පාදනය වේ. මෙමගින් තෘණ සංරක්ෂණය සිදුකර අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදුකරන වියෝජනය අඩුකර සත්ත්ව ආහාර හිග කාලවලදී ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි ගබඩා කර තබා ගත හැකිය. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ඉතා පරිස්සමින් සිදුකර ගතයුතුය. එසේ නොමැති වුවහොත් අනෙකුත් බැක්ටීරියා මේ මත ක්‍රියාත්මක වී තත්ත්වයෙන් අඩු සයිලේජ් සකස් විය හැකිය. මෙහිදී ‘බියුට්‍රික් ඇසිඩ්‘ (ButyricAcid)  නිෂ්පාදනය වුවහොත් සතුන්ගේ ආහාර රුචිය අඩුවීම සිදුවේ.

සයිලේජ් නිෂ්පාදන ක්‍රියාවලිය

  1. තත්ත්වයෙන් උසස් තෘණ භෝග අවශේෂ නියමිත කාලවකවානුවලදී අස්වැන්න ලෙස නෙළා ගැනීම
  2. මේවායේ ඇති ජල ප්‍රමාණය 30% දක්වා අඩුකිරීම
  3. මැලවී ඇති තෘණ සෙන්ටිමීටර් 1-3 දක්වා අතර කුඩා කැබලිවලට කපා ගැනීම
  4. පැසවීම සදහා අවශ්‍ය බැක්ටීරියා වර්ග හදුන්වා දීම
  5. කපා වේලාගත් තෘණ එකිනෙකට ආසන්නව වාතය නොරැදෙන ලෙස ගබඩා කිරීම, තෘණ ස්ථර ලෙස සකස් කර ඒ මත පැසවීමට අවශ්‍ය බැක්ටීරියා යොදා නැවත ඒ මත තෘණ ස්ථරයක් දැමීමෙන් පසු හැකි ඉක්මනින් මෙම ක්‍රියාවලිය අවසන් කළ යුතුවේ. ඉන්පසු මෙම ගොඩගැසු තෘණ වෙත වාතය ඇතුළු නොවන සේ හැකි ඉක්මනින් සීල් කිරීම  කර  සතුන්ට ආහාර ලබාදෙන අවස්ථාව තෙක්ම නිර්වායු තත්වයේතබාගත යුතුය. එසේ නොමැති වුවහොත් ආහාරවල තත්ත්වය හීන විය හැකිය.

සයිලේජ නිෂ්පාදන ක්‍රියාදාමය ප්‍රධාන අවස්ථා හතරක් යටතේ විස්තර කළ හැකිය. එය ‘‘එයරෝබික් අවධිය‘‘ ලෙස නම් කෙරේ. මෙහිදී‘සයිලේජ් පිට්‘ එක සාදාගැනීමෙන් අනතුරුව එය හැකි ඉක්මනින් වාතාශ්‍රයනොලැබෙන සේ මුද්‍රා තැබීමෙන්පසුවද තවදුරටත් වාතය ඉතිරි වුවහොත්,එම ඔක්සිජන් ක්ෂුද්‍ර ජීවින් මගින් සහ ශාඛ කොටස් ස්වසනයට යොදාගනිමින් අඩුකරයි. මෙම ක්‍රියාවලිය පැය කිහිපයක් පවතී. මෙම සයිලේජ් පිට්එක තුළ අඩංගු ඔක්සිජන් ඉවත්වු පසුනිර්වායු තත්ත්ව යටතේ දෙවැනි අවස්ථාව ලෙස ‘පැසවීම‘ආරම්භ වේ. මෙම අවස්ථාව දින කිහිපයක් හෝ සති කිහිපයක් පැවතිය හැකිය. මෙම ක්‍රියාවලියේදී ලැක්ටික් ඇසිඩ් නිෂ්පාදනය කරන බැක්ටීරියා ගහනය වැඩිවී සයිලේජ් පිට් එක තුළPH අගය3.5  සිට 4.5 දක්වා අඩුවේ. PH අගයඅඩුවීම සාර්ථකව සිදුකර ගැනීම සදහා 30% දක්වා වියළා ගත්තෘණ යෙදීම අත්‍යාවශ්‍ය වේ.

තුන්වෙනි අවධිය ස්ථාවර වීමේ අවධියයි. එම අවධියේදී සයිලේජ් පිට් එක තුළට වාතාශ්‍රය ඇතුළු නොවන සේ නිර්වායු තත්ත්ව පවත්වාගෙන යාම වැදගත් වේ. මෙම අවස්ථාවේ PH අගය අඩු මට්ටමක පවතී. කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී ඇසිඩ්වලට ඔරොත්තු දෙන වෙනත් ක්ෂුද්‍ර ජීවීන් මේ මත සිටිය හැකිය.

හතරවන අවස්ථාව ලෙස සයිලේජ් ආහාරයක් ලෙස සතුන්ට ලබාදීමේ අවධිය නම්කළ හැකිය. මෙහිදී මීයන් වැනි සතුන් සිදුරු තුළට රිංගීම මගින්සකස්කරගත් සයිලේජ් පිට් එක තුළ නිර්වායු තත්ත්වය වෙනස් විය හැකි බැවින් ඒ ගැන නිතර අවධානය යොමුකළයුතුය. එසේම මෙම අවස්ථාවන්වලදී සයිලේජ් පිට් එක තුළඋෂ්ණත්වය ඉහළ යාම මගින් ආහාර දිරා යාමට පුළුවන. එබැවින් එම තත්ත්ව නිරන්තරයෙන් පරික්ෂා කර බැලිය යුතුය.

කෙසේ වෙතත් නිවර්තන කලාපීය තෘණවලට වඩා සෞම්‍ය කලාපවල තෘණ සයිලේජ් නිපදවීම සදහා වඩා උචිත වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ නිවර්තන කලාපීය තෘණවල අඩංගු ජලයේ දියවන ‘කාබෝහයිඩ්‍රෙඩ්ප්‍රමාණය අඩුවීමයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය මග හරවා ගැනීමට ඉක්මනින් ශාක කොටස් මැලවීම සිදුකළ යුතුවේ. මෙලෙස වියළා ගත් ශාක කොටස්වලට මොලැසස් යෙදීම මගින් හොද තත්ත්වයේ සයිලේජ් සාදා ගත හැකිය.

සකස් කරගත් සයිලේජ්

සයිලේජ් නිෂ්පාදනයේ ඇති වාසි

  1. සත්ත්ව ආහාරවල පෝෂණ ගුණාංග විනාශ නොවී වැඩි කාලයක් තබා ගැනීමේ හැකියාව.
  2. අහිතකර කාලගුණ තත්වවලදී තත්ත්වයෙන් උසස් ආහාර ලබාදීම
  3. සත්ත්ව ආහාර පරිපූර්ණ ආහාරයක් බවට පත්කිරීම සඳහා මොලැසස් වැනි දෑ එකතු කර ගුණාත්මක භාවය ඉහළ නැංවීම
  4. අහිතකර කාලගුණික තත්ත්ව යටතේ වුවද සයිලේජ් නිපදවා ගත හැකිවීම
  5. සතුන්ගේ ආහාර රුචිය හා ආහාර දිරවීමේ පහසුව ඇති කිරීම
  6. ගබඩා කිරීම සදහා අඩු ඉඩකඩක් අවශ්‍ය වීම
  7. වෙනත් බෝගයක් වගාකර ගත හැකි ලෙස භුමිය ඉක්මනින් පිරිසිදු කරගත හැකිවීම

සතුන්ට අවශ්‍ය සයිලේජ් ප්‍රමාණය තීරණය කිරීමේදී එය කරුණු කිහිපයක් මත රදා පවතී. මෙහිදී ගව පට්ටියේ සිටින සතුන් ගණන, සතුන්ට කෑම ලබාදිය යුතු දින ගණන, මුළු ආහාර ප්‍රමාණයෙන් සයිලේජ්ලබාදිය යුතු ප්‍රතිශතය, සයිලේජ්වල අඩංගු ජල ප්‍රමාණය, අපතේ යන සයිලේජ් ප්‍රමාණය යන කරුණු මත අවශ්‍ය සයිලේජ් ප්‍රමාණය වෙනස් වේ.

එක් ගවයෙක් සදහා දින 90කට අවශ්‍ය සයිලේජ් ප්‍රමාණය ගණනය කිරීමේදී පහත උපකල්පන මත පදනම්ව එය ගණනය කිරීම සිදුකළ හැකිය.

  1. සතුන්ට ලබාදෙන මුළු ආහාර ප්‍රමාණය කිලෝ 40ක් වන අතර ඉන් 50% ක් සයිලේජ් ලෙස ලබාදේ
  2. මෙහි ඇති ජල ප්‍රතිශතය 75%කි.
  3. සයිලේජ්වලින් 15%ක් නරක්වීම නිසා විනාශ වේ
  4. සයිලේජ් පිට් එකක ඝනත්වය මෙට්ට්‍රික් ටොන් 0.8කි

එබැවින් අවශ්‍ය සයිලේජ් හා සයිලේජ් සැදීම සඳහා අවශ්‍ය පිට් එකෙහි දිග පළල පහත සඳහන් ගණනය කිරීම ආශ්‍රිතව සොයාගත හැකිය.

අවශ්‍ය සයිලේජ් කිලෝග්‍රෑම් ප්‍රමාණය

  • එක් ගවයෙකුටදින 90 ක් සදහා          =    (50% x 40kg) 20 x 90 = 1800kg
  • විනාශ වන සයිලේජ් ප්‍රමාණය             =     15%
  • අවශ්‍ය සයිලේජ් කිලෝග්‍රෑම් ප්‍රමාණය  =     115% x 1800 = 2070 kg

ඝනත්වය 400kg සදහා අවශ්‍ය ඝන මීටර්  ගණන එකකි. එබැවින් කිලෝග්‍රෑම් 2070 ක් සදහා 2070/400 මගින් ඝන මීටර් 5.3 ක සයිලෝවක් අවශ්‍ය වේ.ඒ අනුව ගව පට්ටියේ සිටින සතුන් ගණන අනුව එම සතුන්ට ලබාදෙන සයිලේජ් ප්‍රමාණය තීරණය කර අවශ්‍ය සයිලේජ් නිපදවා ගත හැකිය.

සයිලේජ් නිපදවීම සඳහා(Silo)සකස් කර ගැනීම – කුඩා ප්‍රමාණයේ කිරි ගොවීන් සදහා සයිලෝ බෑග් ලෙසත්කුඩා බංකරලෙසත් මෙන්ම බැරල් ආදියද උපයෝගි කරගෙන ඒවා තනා ගත හැකිය.

කිරි දෙනුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපයීම

රෝමාන්තික සතුන්ගේ ආහාර පිරමීඩයට අනුව ගුණත්වයෙන් ඉහළතෘණ හා ධාන්‍යමය ආහාර සැපයීම මගින්හොඳකිරි නිෂ්පාදනයක් ලබාගත හැකිය. ඊට අමතරව මෙම සතුන්ට අවශ්‍ය මේද, රූමනයේදී වියෝජනය නොවන ප්‍රෝටීන හා අනෙකුත් ආහාර උත්තේජකසහිත පරිපූර්ණ ආහාර වේලක් මගින් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාගැනීමේ හැකියාව පවතී.

සාමාන්‍ය ගව පාලනයේදී තත්ත්වයෙන් උසස් කෙදි සහිත නැවුම් තෘණ හෝ සංරක්ෂණය කළ තෘණ ලබාදිය යුතුය.මෙහිදී 18% ක් Acid Detergent Fiber (ADF)ලෙසද 28%  Neutral Detergent Fiber(NDF) ලෙසද යොදා ගනී
Neutral Detergent Fiber (උදාසීන ඩිටර්ජන්ට් ෆයිබර් ):. සතෙකුට කොපමණ ආහාර ප්‍රමාණයක් ගත හැකිද යන්න ගණනයකිරීමසඳහා භාවිතා කරයි. වරකට සතෙකුට කොපමණ ආහාර ප්‍රමාණයක් ලබා ගනීද යන්නට සීමාවක් තිබේ. නිදසුනක් වශයෙන්, රූමනය ලෙස හැඳින්වෙන ආමාශයේ පළමු කුටිය පිරීයනතුරු එළදෙනක් අනුභව කරනු ඇත. එම කුටිය පිරීගිය පසු, ආහාර බඩවැලට මාරුවනතුරු හෝ ජීර්ණය වනතුරු එළදෙන තවදුරටත් ආහාරයට නොගනී. එබැවින්  ලබා ගන්නා මුළු තන්තුමය ආහාර ප්‍රමාණය තීරණය කිරීම සඳහා උදාසීන ඩිටර්ජන්ට් ෆයිබර් ප්‍රමාණය  ගණනය කෙරේ. සෑම වර්ගයකම තන්තුමය ආහාර හෝ තන්තු මගින් රූමනය පිරි  යයි. තන්තු වල අඩංගු පෝෂක පදාර්ථ ඒවායේ ස්වභාවය අනුව  ජීරණය සිදු සිදුකරයි. එබැවින් NDF මගින් ආහාරයේ ගුනාත්මක භාවය තීරණය කරයි.
අම්ල ඩිටර්ජන්ට් ෆයිබර් (ADF) යම් තෘණ ආහාරයක් ජීරණය වූවාට පසු එහි අඩංගු සෙලියුලෝස්, ලිග්නීන්, කියුටීන් සහ අනෙකුත් දිය නොවන  මිනරල් ප්‍රමාණය ආම්ලිකව  මැන බැලීමයි
සාපේක්ෂ ආහාර අගය (Relative Feed Value යනු ඇස්තමේන්තු ගත ආහාර පරිභෝජනය (NDF) සහ ඇස්තමේන්තුගත ජීර්ණය (ADF) ඒකාබද්ධ කරන පෝෂණ අගය පිළිබඳ පුරෝකථනයකි. 

 මීට අමතරව අනෙකුත් පෝෂණ අවශ්‍යතා, සතුන්ගේ විවිධ නිෂ්පාදන අවධි අනුවද ලබාදිය යුතුය.කිරිදෙනුන් හට ආහාර ලබාදීමේදී මේද ප්‍රමාණය 7% කට වඩා වැඩි නොවිය යුතුය.මීට අමතරව විටමින් හා මිනරල් අවශ්‍ය පරිදි ලබාදිය යුතුය.

සාර්ථක ලෙස කිරිගව පාලනයේ නිරතවීම  සඳහාතත්ත්වයෙන් උසස් තන්තුමය ආහාර අවුරුද්ද පුරා ලබාදීම ඉතා වැදගත් සාධකයකි. කෙසේ වෙතත් වියළි කාළගුණික තත්ත්වවලදී තත්ත්වයෙන් උසස් තෘණ ආහාර ලබාදීම විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන් සදහා ප්‍රබල අභියෝගයකි. එබැවින් තෘණ බහුලව ඇති අවස්ථාවලදී ඒවා පිදුරු හෝ සයිලේජ් ලෙස සංරක්ෂණය කර සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීමෙන් අඛණ්ඩ ඉහළ කිරී නිෂ්පාදනයක් අපේක්ෂා කළ හැකිය.

සාගරිකා හිටිහාමු, ජේෂ්ඨ පර්යේෂණ  නිලධාරි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය

Related Posts