කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව කෙරෙහි ‘Covd-19 සංචරණ සීමා ඇති කරන බලපෑම’

Spread the love

එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ

වසංගතයක් ලෙස කොරෝනා වෛරසය ලොව පුරා තෙවන වරටත් පැතිරයමින් සෑම රටකම මිනිස් ජීවිත කෙරෙහි මරණීය තර්ජන එල්ල කරයි.

මෙරට තුළ ද COVID- 19 වසංගතය සෘජුවම මහජන සෞඛ්‍යයට කරන බලපෑමට සමගාමීව ගොවිපලේ, හේනේ, කුඹුරේ සිට ක්ෂණිකව ආහාරයට ගතහැකි ඇසුරුම් කළ ආහාර නිෂ්පාදන සිල්ලරට අලෙවි කරන වෙළඳ ව්‍යාපාර  දක්වා වූ ආහාර නිෂ්පාදන සැපයුම් දාමයේ ක්‍රියාකාරිත්වයටද, ආර්ථික මර්මස්ථානවල නිෂ්කාෂණ කටයුතු සහ බෙදාහැරීමේ සේවාවන්ට සහ  අත්‍යවශ්‍ය පොදු සේවාවන් පවත්වාගෙන යාම කෙරෙහිද තර්ජනයක් බව දැන් පැහැදිලිවම විද්‍යාමානවේ.

මෙරට තුළ මෙන්ම ගෝලීය වශයෙන් ද මෙම වසංගතය විසින් නිර්මාණය කරමින් තිබෙන සීමාකාරී සාධක හේතු කොටගෙන සැලකිය යුතු ආර්ථික ප්‍රතිවිපාක වලට එළඹෙන වසරේදී අප මුහුණපාන බව ඉතා සරලව පැවසිය හැකිය.

වර්තමානය වන විට ලෝකයේ කාර්මික නොවන නිෂ්පාදන ආර්ථිකය සෘණාත්මක සැපයුමකට මුහුණ දී ඇති අතර සංවර්ධිත රටවල කාර්මික නිෂ්පාදන කර්මාන්තශාලා වසා දැමීමට හෝ අර්ධ වශයෙන් වසා දැමීමටත් බොහෝ රටවල අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවා සහ නාවුක සැපයුම් අකර්මන්‍යවන ආකාරයත් දකින්නට ලැබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව “සමාජ දුරස්ථභාවය” පවත්වා ගැනීමට මෙරට ජනතාවට  නිරන්තරයෙන් උපදෙස් දෙයි. එසේ වුවද වසංගත තත්ත්වය යටතේ සංචාරක ව්‍යාපාරයට සහ එය ආශ්‍රිත ආගන්තුක සත්කාර නවාතැන් පොළවල්, නිවාඩු නිකේතන, අවන්හල්, ඇඟලුම් හා විලාසිතා ආයතන සහ සම්භාණ්ඩ අලෙවිසැල් සම්බන්ධයෙන් බහුලව සාකච්ඡා කෙරුණද ඖෂධ නිෂ්පාදන හා ආහාර ද්‍රව්‍ය සැපයුම් කර්මාන්තයේ නිරතවන්නන් හට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය ආදී බොහෝ අංශයන්හි අකර්මන්‍යවීම දැඩි ලෙස සමාජයට පීඩාකාරී බලපෑම් එල්ලකර ඇතිබව පැහැදිලිවේ.

විශේෂයෙන්ම වසංගතයෙන් බලපෑමට ලක් වූ බොහෝ කර්මාන්ත අතර ආහාරපාන කර්මාන්තය අද්විතීය වන අතර එය මානව වර්ගයාගේ මූලික දෛනික අවශ්‍යතාවන්ගෙන් තුනෙන් එකක් සපුරාලන බව පැවසිය හැකිය.

මෙරට කෘෂි හා වැවිලි බෝග සම්බන්ධයන් ගත් කල ආහාරපාන නිෂ්පාදන කර්මාන්තය ජාතික ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව නොරහසකි. අනෙකුත් කර්මාන්ත මෙන්ම ආහාරපාන නිෂ්පාදන කර්මාන්තය ද COVID-19 වසංගතයේ බලපෑමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර එමගින් දේශීය ආර්ථිකයේ බොහෝ අංශවලට විශාල පාඩු උදාකරමින් සිටී. උදාහරණයක් ලෙස කෘෂි හා වැවිලි බෝග උදෙසාවන මූලික අවශ්‍යතා සපුරාගැනීමට ඇති ගැටළු දැන් සාමාන්‍ය අඬහැරයක් බවට පත්ව තිබේ. දැනටමත් නිෂ්පාදනයකර ඇති නැතහොත් නෙළා එක්රැස්කර ගෙන ඇති එළවළු බෝග අස්වනු මේරීමට, වියළී යාමට හෝ කුණු වීමට භාජනය වීම අසන්නට ලැබේ. එසේම අවශ්‍ය සේවකයින් රැස්කර ගැනීමට අසීරුනිසා වගාබිම්හිම අස්වනු අපතේයාම සිදුවනු ඇත.

ඒ අතර පළමු රැල්ල අවස්ථාවේ තාවකාලික උත්තේජනයක් ලෙස ඇරඹි ගෙවතු වගාවේ සාර්ථකත්වය අගය කළ හැකිද යන්න විමසා බැලිය යුත්තකි. මෙවන් තත්ත්වයක් යටතේ COVID-19 වසංගතයෙන් දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර ව්‍යවසායකත්ව කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් ගවේෂණය කිරීම සහ එම බලපෑම් සමඟ කටයුතු කිරීම සඳහා විභව උපාය මාර්ග අද සලකා බැලීම, හෙට නිර්මාණය වන ජනජීවිතයට වඩාත් වැදගත් බව පැවසිය හැකිය

ඒ අතර පළමු රැල්ල අවස්ථාවේ තාවකාලික උත්තේජනයක් ලෙස ඇරඹි ගෙවතු වගාවේ සාර්ථකත්වය අගය කළ හැකිද යන්න විමසා බැලිය යුත්තකි. මෙවන් තත්ත්වයක් යටතේ COVID-19 වසංගතයෙන් දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර ව්‍යවසායකත්ව කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් ගවේෂණය කිරීම සහ එම බලපෑම් සමඟ කටයුතු කිරීම සඳහා විභව උපාය මාර්ග අද සලකා බැලීම, හෙට නිර්මාණය වන ජනජීවිතයට වඩාත් වැදගත් බව පැවසිය හැකිය.

මෙරට තුළ පැනනැගී එන COVID-19 වසංගතයේ බලපෑම මත ආර්ථිකයක ආහාරපාන නිෂ්පාදන හා සැකසුම් කර්මාන්ත සන්දර්භය පිළිබඳව කිසිදු පර්යේෂණයක් හෝ ගවේෂණයක් මෙතෙක් කර ඇති බවක් නොපෙනේ. ක්ෂණික අධිපරිභෝජන රටාවන් නිසා ඇති වන ඉල්ලුමේ කම්පනයට සන්ත්‍රාසය මිලට ගැනීම පිළිබඳව පමණක් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කිරීම පමණක්ම දැකිය හැකිය.

කෙසේ වෙතත්, වසංගතයේ කෙටිකාලීන බලපෑමක් ලෙස නිෂ්පාදන කල් ඉකුත්වීම කෙරෙහි ප්‍රතිචාර දැක්විම පිළිබඳ වූ අනවබෝධය පැහැදිලිවේ. නිෂ්පාදන මිල දී ගැනීමට පාරිභෝගිකයින්හට උපරිම කාලයක් තිබූ නමුත් රජයේ නිරෝධායන ඇදිරිනීතිය නිසා සිල්ලර වෙළඳසැල් සහ අවන්හල් කඩින් කඩ වසා දැමීමට සිදුවන බැවින් බොහෝ ආහාර නිෂ්පාදනයන්හි ආයු කාලය ඇසුරුම් රාක්ක මතම ගෙවීයාමට හේතු සාධකව පවතී.

මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ කාරක ප්‍රාග්ධනයේ හිඟය දෙවන කෙටි කාලීන බලපෑම ලෙස හඳුනාගත හැක. නිමි නිෂ්පාදන බෙදාහරින්නන් විසින් රැස්කරගනු ලබන නිෂ්පාදන ප්‍රමාණය අඩුවන හෙයින් ඔවුන් වෙත මුදල් ගලා ඒම ප්‍රමාණාත්මකව පෙරට වඩා බෙහෙවින් සීමාවිය හැකිය.

මෙම විශේෂිත තත්ත්වය වෙනත් කෙටිකාලීන බලපෑම් වලට හේතු සාධකවේ. නිදසුනක් වශයෙන් මුදල් ඉපැයීම අඩු වීම නිසා ආයතනයන්හි කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට, කර්මාන්තශාලා  සදහා බදු මුදල් ගෙවීමට, ගබඩා හා රථවාහන අංගන වල කුලිය ආවරණය කිරීමට, ප්‍රවාහන සේවා  නඩත්තු වියදම් පියවා ගැනීමට මෙන්ම වෙනත් මෙහෙයුම් වියදම් සහ සේවා සැපයුම් බිල්පත් ගෙවීම වැනි සාමාන්‍ය මෙහෙයුම් වියදම් ආවරණය කරගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට ව්‍යවසායකයින්හට සිදුවනු ඇත.

එපමණක් නොව අනාගත ඉල්ලුම සපුරාලීමට ඉඩ සලසන නිෂ්පාදන ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ණයවර ලිපියක් විවෘත කිරීමට මහත් වෙහෙසක් හා කාලයක් ගතකිරීමට සිදුවීම වළකාගත නොහැකි කරුණක් බව ප්‍රකාශ කළහැක. මෙහෙයුම් ප්‍රාග්ධනයේ ඌනතාවයන් මෙන්ම බැංකු කටයුතු උදෙසා සීමිත වේලාවන් පැවතීම නිසා ආයතනික වශයෙන් ණයවර ලිපි විවෘත කිරීමට මහත් පරිශ්‍රමයක් ගැනීමට සිදුවීම වළකාගත නොහැකිවේ.

ඒ අතර නිෂ්පාදන කල් ඉකුත්වීමේ ගැටළුවට මේ වන විට මුහුණ දී සිටින ආයතන මහජන සෞඛ්‍ය සීමාවන් ලිහිල් කරන විටම අනාගතය සඳහා ද්‍රව්‍ය එක්රැස්කර නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට සැලසුම් කරති. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ අමුද්‍රව්‍ය හිඟකම හෝ අභ්‍යන්තර නිෂ්පාදන ගැටළු හේතුවෙන් අනාගත විකුණුම් අවස්ථා අහිමි නොවන බව සහතික කරගැනීමයි.

අවසාන කෙටිකාලීන බලපෑම වන්නේ බෙදාහරින්නන්ගේ සහ වෙළෙඳ හවුල්කරුවන්ගේ ක්‍රියාකාරිත්වයයි. බොහෝ අවන්හල් සහ සිල්ලර වෙළෙදසැල් වසා ඇති නිසා බෙදාහරින්නන්ගේ මෙහෙයුම් සීමාකිරීමට සිදුවේ. මායිම් බාධක පැවැතීම හෝ වරින්වර පැනවීම මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු සාධකව පවතී. ප්‍රවාහන කටයුතු සීමිතවන විට බෙදාහරින්නන් නිෂ්පාදන වෙළඳපොළට සපයන අවස්ථාවේදීම විකුණුම් පරිමාව අඩුවීම හේතුවෙන් ඔවුන්ගේ මුළු ඉපැයීම් සමස්ත වියදම ඉක්මවා යාම වළකාගත නොහැකිව ව්‍යාපාරික කටයුතු පාඩු ලබන තත්ත්වයකට යොමුවේ.

කෙටිකාලීන බලපෑම් සමඟ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව කෙරෙහි COVID-19 වසංගතයෙන් ඇති කරන මධ්‍යම හා දිගු කාලීන බලපෑම් රාශියක් අනාවරණය කරගත හැක. ආයෝජනයේ ප්‍රතිලාභ අඩුවීම යනු ව්‍යවසායකයින් විසින් අපේක්ෂා කළ හැකි මධ්‍ය කාලීන හා දිගු කාලීන බලපෑම් වලින් එකකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමාන මූල්‍ය වර්ෂය තුළ ආයෝජන අඩුකර දිගු කාලීනව රැකියා කප්පාදුවක් කෙරෙහි ව්‍යාපාර හිමිකරුවන් හා ආයෝජකයින් යොමුවීම අපේක්ෂා කළහැක. මක්නිසාදයත් ව්‍යාපාරයක් අපේක්ෂාකරන අවම ආදායම පවා අඩු විය හැකි තත්වයක් පවතින බැවිනි.

එමෙන්ම සැපයුම් දාම සබඳතා ව්‍යුහයට එල්ලවන අභියෝග අනෙකුත් මධ්‍යම හා දිගු කාලීන විභව බලපෑම් අතර ප්‍රධානවේ. එවැනි එක් බලපෑමක් වන්නේ වෙළෙඳ සබඳතා අඩුවීම හෝ ලාභය සඳහා තම භාණ්ඩය විකුණන නිෂ්පාදකයින්හට තොග සහ සිල්ලර වෙළඳුන් සම්මුඛව සම්බන්ධ කර ගැනීමට ඇති අවහිරයයි.

ආහාරපාන නිෂ්පාදන කර්මාන්තයේ නිරත මහ පරිමාණ ව්‍යවසායකයින් සාමාන්‍යයෙන් සිල්ලර වෙළෙන්දන්ට අමතර නිෂ්පාදන නොමිලේ ලබාදීමෙන් වෙළඳ ප්‍රවර්ධනය සඳහා වියදම් කරති. කෙසේ වෙතත් සිල්ලර හෝ තොග වෙළෙඳුන්ට එවැනි ප්‍රවර්ධන ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්හට නොහැකිවීම මෙහි ඇති බැරෑරුම්කම වේ.

එසේම නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් බැරි වුවද සැපයුම් දාමයේ සම්බන්ධතා නැවත ගොඩනැංවීම හා ප්‍රතිව්‍යුහගත කරගැනීම  තවත් වැදගත් මධ්‍යම හා දිගු කාලීන ගැටළුවකි. අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළදී නිෂ්පාදකයින්ගෙන් කෙලින්ම නිෂ්පාදන මිලදී ගෙන ඒවා තොග සහ සිල්ලර වෙළෙඳුන්ට විකුණන බෙදාහරින්නන් ඔවුන්ගේ මෙහෙයුම් වියදම් ඔවුන්ගේ ආදායමට වඩා ඉහළ අගයකට රැගෙන යයි. එබැවින් බොහෝ බෙදාහරින්නන් දැනටමත් තම සේවා කටයුතු නවතා දැමීමට යොමුවෙමින් පවතින බව නොරහසකි. වසා දැමීමේදී මෙහෙයුම් පිරිවැය දැරීමට ඔවුන්ට නොහැකි විය හැකි බැවින් ඒවායින් බොහොමයක් නැවත ඉතා ඉක්මණින් විවෘත කිරීමක් අපේක්ෂා කළ නොහැකිය.

වසංගතය පැතිර යන කාලය තුළ සහ ඊට ආසන්න පශ්චාත් වකවානු තුලදී කුඩා හා මධ්‍ය පරිමාණ ආහාරපාන කර්මාන්තයේ ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වය නිෂ්පාදන සීමා කරයි. ඒ අනුව ආයතනික ආදායම් පහළ යන අතර එය දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අඩුවීමටද හේතුකාරක වන බව පැවසිය හැකිය.

පාරිභෝගිකයින් සුඛෝපබෝගී නිෂ්පාදන වලින් වැළකී තම ආරක්ෂාව සඳහා ගෙදරදොර සකසාගත හැකි ආහාර කෙරෙහි යොමුවනු ඇත. ඒ අනුව මධ්‍යම හා දිගු කාලීන ඉල්ලුමේ අඩුවීම නිසැකවම ආහාරපාන කර්මාන්තයේ පැවැත්මට සහ විශේෂයෙන් දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය කෙරෙහි කරනු ලබන බලපෑම වලකාගත නොහැකිවේ.

කෙසේ වුවද මෙම ගැටළු උදෙසා මුහුණ දීම හෝ ප්‍රතිචාර දැක්වීම සඳහා වූ නව උපාය මාර්ග ද අප අනාවරණය කරගත යුතුවේ. වසංගතයේ බලපෑම් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ නොහැකි වුවද එමගින් ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම පාරිභෝගික ජනතාව කෙරෙහි වන බරපතලකම අඩු කිරීමට ඉඩප්‍රස්ථා විවර කරගත යුතුවේ. එසේ කිරීම උදෙසා පවතින තත්ත්වයන් යටතේ හැකි සෑම කේෂ්ත්‍රයක්ම අඛණ්ඩව පවත්වාගෙන යාම උදෙසා අපි උත්සුක විය යුත්තෙමු.

නිෂ්පාදන කල් ඉකුත්වීමේ අවදානම අවම කිරීම සඳහා තවත් වැදගත් උපාය මාර්ගයක් ලෙස සිල්ලර වෙළෙන්දෝ වඩාත් මෑත දිනයන් සහිත නිෂ්පාදන ඉදිරියෙන් තබන අතර පැරණි දිනයන් සහිත නිෂ්පාදන රාක්කයේ පිටුපස තබති. එහි ප්‍රතිඵලයක් ලෙස නව නිෂ්පාදන විකුණා ගත හැකි අතර පැරණි නිෂ්පාදන මිලදී ගැනීමට පෙර ඒවායේ කල් ඉකුත්වීමේ දිනය කරා ළඟා වේ. එම නිසා නිෂ්පාදන කල් ඉකුත්වන ක්‍රමවේදයන් තුළ ඒවා අලෙවි කිරීමට ප්‍රමූඛතා යෝජනා කළ හැකිය.

සමාජ දුරස්ථභාවය සහ පොලිස් වසමින් වසමට හෝ පළාත් බදව හෝ රටපුරා එකමවර නිරෝධායන ඇඳිරි නීතිය හෙවත් අගුළු දැමීම කෙතරම් සාර්ථක වුවද එමගින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අත්විඳිමින් සිටින අනපේක්ෂිත කඩා වැටීම මත තම ව්‍යාපාරය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ව්‍යවසායකයින් අඛණ්ඩව සොයා බැලිය යුතුය. දේශීය සහ ගෝලීය මූල්‍ය පරිසරය තුළ ගොඩනැගෙන අවිනිශ්චිතභාවය හේතුවෙන් අපනයන ව්‍යාපාර කටයුතු වල නිරත මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට තම මූල්‍ය ගණුදෙනු කෙරෙහි අභියෝග එල්ලවීමද අවාසනාවන්ත තත්ත්වයකි.

මෙහි බලපෑම වඩාත් අසතුටුදායක වන අතර එකී ව්‍යාපාරයන්ට හිඟ මුදල් සංචිත සහ හදිසි පසුබෑම කළමනාකරණය කිරීම සඳහා සතුව ඇත්තේ කුඩා ආන්තික ශක්තියකි. ඔවුන්ගේ නිෂ්පාදන මෙන්ම සැපයුම් අළෙවි කිරීම නැවැත්වීමට හෝ ප්‍රමාද කිරීමට සිදුවීම හේතුවෙන් වන ආදායම් උත්පාදනය අඩුවීම මත දේශීය ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ඇත. ඒ අනුව 2019/2020 වර්ෂයට සාපේක්ෂව 2020/2021 මූල්‍ය වර්ෂයේ නිෂ්පාදන වර්ධන වේගය පැවති ප්‍රමාණයෙන් 3% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළහැකිය. එබැවින්, මෙම කාලය තුළ නැවත හිස ඔසවන ව්‍යවසායකයින්හට ආරම්භක නව නීති මාලාවකට අනුගතවිමට සිදුවන අතර අවදානම් අවම කර ගැනීමට සහ COVID-19 හි බලපෑම නිසා ඇති වන මන්දගාමී ස්වරූපයෙන් බේරීමට සැලකිලිමත්විම වඩා වැදගත්වේ.

ඒ අනුව මෙම කාලය තුළ ව්‍යාපාරවලට ඔවුන්ගේ ස්ථාවර හා විචල්‍ය වියදම් මෙන්ම සැබෑ ආදායම පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම ඉතා වැදගත් වේ. මෙම තක්සේරුව මඟින් ආයතනයේ මූල්‍යමය වශයෙන් සිටින්නේ කොතැනද යන්න පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා ගතහැකි අතර වර්තමානයේ විසන්ධි වූ වෙළෙඳපල තුළ ප්‍රතිස්ථාපනයවීමට සැලසුම් කිරීමට එමගින් හැකියාව උදාවේ.

වෙළෙඳපල සෑම සතියකම වෙනස් වන බව සලකන විට ආදායම සහ පිරිවැය පිළිබඳ ඔබේ උපකල්පන අනුව ව්‍යාපාර ආකෘතිය නැවත සලකා බැලීම සහ ඔබේ ව්‍යාපාරය පවතින්නේ කොතැනද යන්න නැවත තක්සේරු කිරීම අත්‍යවශ්‍යවේ. ඔබේ ධාවන පථය කුමක්ද යන්න ගැන සැලකිලිමත් වන්න. එමෙන්ම එහිදී සේවක සුරක්ෂාව හා ආයතනික සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් මැනවින් පිළිපැදීම හා ඒවා අඛණ්ඩව රැකගැනීම හා පුද්ගල සනීපාරක්ෂාව ව්‍යාපාර විසින් දෛනිකව ඇගයීමට ලක් කළ යුතුය.

මෙම වසංගතය තවත් කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි තක්සේරු කිරීම දුෂ්කර බැවින් අනාගතයේ සිදුවිය හැකි ඕනෑම තත්ත්වයන් සඳහා සූදානම්වීම ඉතා වැදගත්ය. අපි එය මෙම වසර අවසානයේ නිමාවට පත්වේයැයි උපකල්පනය කළහොත් වත්කම් කුලියට ගැනීම, අලෙවිකරණය, ප්‍රවාහණය වැනි විචල්‍ය වියදම් ක්ෂණිකව නතර කිරීම තාවකාලික ප්‍රතිලාභ ගෙනදිය හැකිය.

කෙසේ වෙතත් වසංගතය ඉදිර වසර 02 ක පමණ කාලයක් දක්වා පැවතුනහොත්, ව්‍යවසායකයින්ට විචල්‍ය වියදම් අඩු කිරීම, ස්ථාවර වියදම් (කුලී, වැටුප්, උපකරණ කල්බදු ගෙවීම් ආදිය) නැවත සාකච්ඡා කිරීම සහ තීරණාත්මක අත්‍යවශ්‍ය කරුණු කෙරෙහි නව ව්‍යාපාරික උපායමාර්ගය සකස් කිරීමට අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.

අන්තර්ජාලය හරහා විකිණීම, අලෙවිකරණ පිරිවැය අඩුකරගැනීමට හැකි වුවද  විකුණුම් උපායමාර්ග නැවත සලකා බැලීම සදහා එය හොඳ අදහසක් විය නොහැකිය. ඉන් ඔබ්බට ව්‍යාපාරවලට උපාය මාර්ග සහ සන්නිවේදනය ක්‍රමවේද සකසා ගැනීමට සිදුවනු ඇත. නව මෙහෙයුම් සැලැස්මක් සමඟ විකුණුම් ආදායම් ඉලක්ක සහ නිෂ්පාදන කාල නියමයන් සංශෝධනය කිරීමට සිදුවේ. එවැනි අවස්ථාවක ව්‍යවසායකයින්හට හා නායකයින්ට තම ආයෝජකයින් සහ කාර්ය මණ්ඩල සේවකයින් සමඟ සන්නිවේදනය හැකිතාක් විනිවිදභාවයෙන් යුතුව තබා ගැනීමට සිදුවනු ඇත.

සෑම ව්‍යාපාරයක් සඳහාම ප්‍රාග්ධනය අවශ්‍ය වන අතර මෙම දුෂ්කර කාලවලදී සෑම ව්‍යවසායකයෙකුගේ ප්‍රශ්නය වන්නේ ඔවුන්ට ප්‍රාග්ධනය ලැබෙන්නේ කොතැනින්ද යන්නයි. ඉදිරි වසර දෙක සඳහා යෙදවීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් කෙරෙහි අවධානය යොමු කිරිමට පසුබට වියහැකිය.

කෙසේ වෙතත්, කෙටිකාලීනව බැංකු ක්ෂේත්‍රය ඔස්සේ අරමුදල් සම්පාදනය අඩුවීමේ ප්‍රවනතාවයක් දැක ගත හැකිය. ඒ අනුව ආයෝජකයින් වඩාත් සුපරීක්ෂාකාරී ලෙස තීරණ ගැනීමට වෙනදාට වඩා වැඩි කාලයක් ගතකරනු ඇතැයි අපේක්ෂා කළහැක. නමුත් කරදර වීමට කිසිවක් නොමැත. මක්නිසාදයත් මෙරට කලින් පැවති මහ බැංකු ස්වරූපය ඉක්මනින් වෙනස්වන ආකාරය අපට නුදුරේදීම දැක ගත හැකිවේ.

නිරෝධායන ඇඳිරි නීතිය හෙවත් අගුළු දැමීමේදී වෙළෙන්දන්ට හා සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම දුෂ්කර විය හැකි බව තේරුම් ගත හැකිය. කෙසේ වෙතත්, ඔබගේ ව්‍යාපාරය සමග සහසම්බන්ධ බෙදාහරින්නන්, සැපයුම්කරුවන්, ඉඩම් හිමියන් සඳහා ප්‍රමාණවත් දැනුම් දීමක් කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. එවිට ගනුදෙනු ප්‍රමාදවීම පිළිබඳව තීරණ ගත හැකිවේ.

එමෙන්ම දුෂ්කර කාල පරිච්ඡේදයක සේවකයින් ඉවත් කිරීම් සලකා බලන විශාල ව්‍යාපාරික ආයතන සඳහා මූලික විකල්පය විය යුත්තේ ඉහළ වැටුප් ගෙවන විධායකයින්ගේ වැටුප් හා සේවා වරප්‍රසාද කපා හැරීමය. අවම වශයෙන් දැනටමත් ස්ථීර හෝ දිගු කලක් රැකියාවල නියුක්තව සිටිය හැකි පුද්ගලයින් රඳවා ගැනීමට උත්සාහ කළයුතුයි. කෙසේ වෙතත් එය අනුකම්පාවෙන් හෝ රජයේ නියෝගයන් අනුව හෝ කරනු ලබන පුණ්‍ය ක්‍රියාවක් නොවිය යුතුය. එවැනි ක්‍රියාත්මක කිරීම සිදු කළ යුත්තේ එක් වරක් පමණක් වන අතර එය සේවක චිත්ත ධෛර්ය ඉහළ නැංවීමටද හේතුකාරකවේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඇති එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ මුදල් සඳහා ප්‍රවේශයයි. ඕනෑම ව්‍යාපාරයක් පවත්වාගෙන යාම අවදානම් සහගත උත්සාහයකි. කෙසේ වෙතත් විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර අවදානමට ලක්වේ. කුඩා ව්‍යාපාරවලින් බොහොමයක් බදුකුලී, පඩි ගෙවීම් සහ උපයෝගිතා වැනි පොදු කාර්ය පිරිවැය ඉවත් කළ විට හිමිකරුවන්හට ඉතිරිවන්නේ ඉතා සුළු  මුදලක් බව අප වටහාගත යුතුය.

විශේෂයෙන්ම කෙටිකාලීනව අභියෝගයට එරෙහිව සටන් කිරීම සඳහා කුඩා ව්‍යාපාර හිමියන්වෙත ක්ෂණික ද්‍රවශීලතාවයක් සපයාදීමට උත්සාහ කළ යුතුය. අර්බුදයට පෙර කුඩා ව්‍යාපාර සඳහා ලබා දුන් මූල්‍යාධාර තවදුරටත් ලබා දිය යුතුවේ. අර්බුදය නිමාවූ පසුව එළඹෙන මාස 12 ක කාලයක් තුළ එකම සේවකයින් සංඛ්‍යාවක් නැවත සේවයේ යොදවා ගැනීමට යෝජනා කළහැක. මෙම වැඩසටහන මගින් වඩාත් අවදානමට ලක්විය හැකි ව්‍යාපාර සඳහා ක්ෂණික මුදල් ප්‍රවාහයක් ලබා දීමට ක්‍රියාකළහැක. මෙම යෝජනා වෙළෙඳපල ස්ථාවර කිරීමට සහ ව්‍යවසායකයින්ට හා සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැලසීමේ තීරණාත්මක මෙවලමක් වනු ඇත.

විශේෂයෙන්ම සේවා කර්මාන්තයේ විකුණනු ලබන භාණ්ඩවල පිරිවැය මූලික වශයෙන් කාර්ය මණ්ඩලයට ගෙවනු ලබන වැටුපට සමාන වූවකි. කුඩා ව්‍යාපාර සංගමයේ ණයවලින් ණය පැටවීම කුඩා ව්‍යාපාර සඳහා පොදු වන අතර ව්‍යාපාර හිමිකරුවන්ට අමතර පීඩනයක් ඇති කළ හැකිය. ඉල්ලුම අඩුවීම සහ වැටුප් සහිත නිවාඩු ප්‍රතිපාදන යථාර්ථයක් වීමත් සමඟ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඉවත්කර දැමීම නොවැලැක්විය හැක්කකි.

එහෙත් කුඩා ව්‍යාපාර යනු අපගේ ප්‍රජාවන්ගේ සහ ආර්ථිකයේ ජීව රුධිරයයි. මෙම අර්බුදය මධ්‍යයේ ඔවුනට සහනයක් අවශ්‍යය. අපගේ ප්‍රජාව තුළ ඇති කුඩා ව්‍යාපාර දේශීය ආර්ථිකයට රැකියා සපයයි. කුඩා ව්‍යාපාර හිමියන්ට අවශ්‍ය ප්‍රාග්ධනයට ප්‍රවේශ වීම සහ ද්‍රවශීලතාවය උපරිම කර දීම බහුතරයකට ජීවත්වීමට කළ හැකි වැදගත්ම උපකාරයවේ. දේශීය ආර්ථිකයේ අනාගතය විවරකරන යතුර සතු ව්‍යවස්ථාදායකයින්ට මෙම පණිවිඩය ලබා දීම අප කරන්නේ කෙසේද?. දිවයින පුරාම දැඩි සෞඛ්‍යාරක්ෂක රෙගුලාසි බලාත්මක කර නීතිරීති වලට ගරුකරන සහ යහපත් ඇවතුම් පැවතුම් අනුගමනය කරන ලෙස ජනතාවගේ සිතුම් පැතුම් මෙහෙයවීම නිරෝධායන ඇඳිරි නීතිය වෙනුවට ගතහැකි වඩා යහපත් ක්‍රියාමාර්ගයක් විය හැකිය.

එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වූ අඹේපුස්සවල්පිට හා හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ත්‍රිත්වයෙහි වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇත. 2018 වසරේදී රජයේ සේවයෙන් ඉල්ලා විශ්‍රාම යන ලදී.

අනතුරුව පෞද්ගලික අංශයේ ආහාර නිෂ්පාදන ආයතනයක් වන  ‘ පිකල් හවුස් ප්‍රඩක්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි තත්ත්ව පාලන නිලධාරියෙකු ලෙස වසර එකහමාරක් මම සේවය කළෙමි. වසර 2000 සිට මේ දක්වාම ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්මික තාක්ෂණ දෙපාර්තමේන්තුවේඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර දෙපාර්තමේන්තුවේ සම්පත්දායකයෙකු ලෙස සේවය ඉටුකරමි.

Related Posts