‘කාබනික පොහොර‘ අපිම හදා ගනිමු

Spread the love

රසායනික පොහොර තහනම’ ඉතාම වැදගත් ක්‍රියාමාර්ගයකි. මේ තහනම රටේ පරිසර පද්ධති සුරැකීම වෙනුවෙන්ම ගත් ක්‍රියාමාර්ගයක් වන්නේ නම් රසායනික පොහොර පමණක් නොව, සියලු කෘෂි රසායන එනම් කෘමිනාශක හා වල්නාශක වැනි සියලු පළිබෝධ රසායනික නාශකවලින් ද ඉවත් වීම ඉතා වැදගත්ය.

60 දශකයෙන් ඇරඹුණු හරිත විප්ලවයත් සමඟ මේ දක්වා ඉවක් බවක් නැතිව කිසිම ප්‍රමිතියක් නැමැතිව බහුජාතික සමාගම්වලට හිතුමතේ තත්ත්වයෙන් බාල, බැරලෝහ සහිත කෘෂි රසායන මෙරටට ආනයනයට ඉඩ දීම මඟින් අද වන විට අපගේ පරිසර පද්ධති විනාශ වී හමාරය. එනම් ජලය, පස, වායුගෝලය සහ සියලු ජෛව පද්ධති වේ.

මිනිසාට වකුගඩු රෝග වැනි භයානක රෝග වැලඳීමට හේතුව රසායනික පොහොර පමණක් නොවේ. විශේෂයෙන්ම වල්නාශක මේ සඳහා ඉවහල් වේ. එමනිසා සියලු කෘෂි රසායනවලින් බැහැර වී ඒ සියල්ල කාබනික පැත්තට යොමු කර විය හැකිය. ‘කාබනික ගොවිතැන’ යන සංකල්පය මේ වන විට ද ශ්‍රී ලංකාව තුළ පවතී. කාබනික පොහොර පමණක් නොව කාබනික කෘමිනාශක, කාබනික වල්නාශක පිළිබඳව ද ගොවීන් දැනුම්වත් කරන්නේ නම් එම සියලු දැනුම රටේ විද්වතුන් අතර ඕනෑ තරම් තිබේ.

විශේෂයෙන් උඩරට ගොවීන් සියලු කෘෂි රසායන යොදමින් වගා කළ ද, ඔවුන් ඒවා ආහාරයට නොගන්නා අතර ඔවුන්ගේ පරිභෝජනය උදෙසා වෙනමම වගා කොටසක් ‘කාබනික ගොවිතැන’ ලෙස පවත්වාගෙන යන බව නොරහසකි.

කාබනික පොහොර යනු මොනවා ද?

ශාක හෝ සත්ත්ව කොටස් ආශ්‍රිතව ජනනය වී ජීර්ණය හෝ වියෝජනය වීමෙන් පසු ශාක වර්ධනය සඳහා පසට පෝෂක සපයන ද්‍රව්‍ය කාබනික පොහොර වේ.

ගොවිපොළ හා මුළුතැන්ගෙය ආශ්‍රිතව ඉවත දමන සහ ඉතිරි වන කාබනික ද්‍රව්‍ය මෙන්ම භෝග වගාවේ අස්වනු නෙළා ගත් පසු ඉතිරි වන භෝග අවශේෂ (පිදුරු / බඩ ඉරිඟු ගස්) වැනි දේ බහුලව අප රටේ තිබෙන හෙයින් පහසුවෙන් කාබනික පොහොර නිපදවිය හැකිය.ෙ

කාබනික පොහොර වර්ග

  1. කොළ පොහොර (ග්ලිරිසිඩියා, වල් සූරියකාන්ත, කොහොඹ, එරබදු, සියඹලා, වරා, තෝර, කැප්පෙටියා, සන්හෙම්ප්, ගංසූරිය, ඉපිල් ඉපිල්, තෙල් කැකුණ, කදුරු)
  2. ගොවිපොළ පොහොර (කුකුළු අතුරණුව, ගොම, ගව මූත්‍ර, එළු පොහොර, ඌරු පොහොර)
  3. කොම්පෝස්ට් පොහොර (පිදුරු, සත්ත්ව වසුරු,වල්පැළ, භෝග අවශේෂ, ජලජ පැළෑටි, රනිල ශාක කොටස් එනම්, ග්ලිරිසීඩියා, තෘණ, ලී අළු)
  4. කාබනික දියර පොහොර (සත්ත්ව පොහොරවලින්, ශාක පත්‍රවලින්, මාළු අපද්‍රව්‍යවලින්)
  5. ජීව පොහොර (ඇ‍සොල්ලා යන පර්ණාංගි ශාක) මීට අමතරව ගැඩවිල් පණු දියර පොහොර
  6. ශ්වාතෝ පොහොර (පක්ෂි වසුරු)

කාබනික පොහොර භාවිතයේ වාසි

  • ප්‍රධානම නයිට්‍රජන් ලබා දෙන ප්‍රභවය වීම.
  • සල්ෆර් හා පොස්පරස් ලබා දෙන ප්‍රධාන ප්‍රභවය වීම.
  • පාංශු ව්‍යුහය දියුණු වීම, පාංශු වාතනය දියුණු වීම.
  • පසේ කැටායන හුවමාරු ධාරිතාවය වැඩි දියුණු වීම.
  • ශාකවල විෂ ඇති වීම වැළකීම.ජල අවශෝෂණ ධාරිතාව වැඩි දියුණු වීම.
  • ස්වාර ලෙස ක්‍රියා කිරීම (පසේ ආම්ලික හෝ ක්ෂාරීය වීම පාලනය)
  • පෝෂක විශාල සංඛ්‍යාවක් අඩංගු වීම (ක්ෂුද්‍ර පෝෂක පවා)
  • පාංශු හිතකර ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්ව අධික වීම.
  • පාංශු ඛාදනය අඩු වීම.
  • පසේ මතුපිට කබොළු ඇති වීම වැළැක්වීම.
  • යෙදීමට පුහුණු ශ්‍රමයක් අවශ්‍ය නොවීම.

මේ කියන සියලු කාබනික පොහොර අතුරින් ඉතා සුවිශේෂී ස්ථානයක් තිබෙන්නේ කොම්පෝස්ට් පොහොරවලටය. මේ වන විට දේශීයව සාර්ථක ලෙස කොම්පෝස්ට් නිෂ්පාදනය සිදු වේ. ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභාවල මේ පිළිබඳ හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. නාගරික කැළි කසළ, දිරන නොදිරන ලෙස වෙන් කර කොම්පෝස්ට් බවට පරිවර්තනය වන ස්ථාන තිබේ. (වැලිගම නගර සභාව ඊට හොඳ උදාහරණයකි)

කොම්පෝස්ට් පොහොරවල සුවිශේෂී වැදගත්කම්

  • කාබනික පොහොර අතුරින් භෝගවලට වඩාත්ම සුදුසු පොහොරක් වීම.
  • සමතුලිත හා වැඩි පෝෂණ පදාර්ථ ප්‍රමාණයක් අන්තර්ගතව කොම්පෝස්ට් නිපදවා ගත හැකි වීම.
  • භෝග වගාවට උපකාරී වන විවිධ ක්ෂුද්‍රජීවීන් අන්තර්ගත වීම.
  • වාණිජව නිෂ්පාදනය කර අවශ්‍ය ප්‍රමාණ සපයා ගැනීමේ පහසුව.
  • සමාජයේ වැඩිදෙනා වැඩි කැමැත්තක් දැක්වීම (සත්ත්ව පොහොර මෙන් දුඟදක් නැති වීම)
  • ප්‍රමිතියෙන් යුත් කොම්පෝස්ට් නිපදවීමේ හැකියාව.
  • සිත්ගන්නා පැහැයෙන් යුක්ත වීම.
  • යෙදීම හා පරිහරණය පහසු වීම.
  • මූලික පොහොරක් ලෙස පමණක් නොව භෝගයක වර්ධන අවස්ථාවේ පවා මතුපිට පොහොර ලෙස යෙදීමට හැකි වීම.
  • සමහර කාබනික පොහොර මෙන් විවිධ හානි දක්නට නොලැබීම.
  • අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ ඉක්මනින් හා පහසුවෙන් භෝගවලට උරා ගත හැකි වීම.
  • ‍වෙනත් කාබනික අමුද්‍රව්‍යවලට වඩා කොම්පෝස්ට් සඳහා භෝග ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම.
  • පරිමාව අඩුවීම නිසා ගබඩා කිරීමේ පහසුව.

කාබනික පොහොරවළිනුත් ඉතා වැදගත් පොහොර ලෙස කොම්පෝස්ට් පෙනෙන්නට හැකි හේතු අතිවිශාලය. දේශීයව මෙම පොහොර නිපදවා ගන්නට අවශ්‍ය තරම් යටිතල පහසුකම් මෙරට තුළ තිබේ. මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ද ඕනෑ තරම්ය‍ෙඅහස උසට ගොඩ ගැසුණු කුණු කඳු මෙහි ඕනැ තරම් ඇත. මේවායේ කසළ තෝරා වෙන් කර ගත හැකිය.

ග්ලිරිසීඩියා, වල්සූරියකාන්ත යනු නයිට්‍රජන් පමණක් නොව පොස්ෆරස්, පොටෑසියම් මෙන් මහා පෝෂක බහුල භෝග වේ. මෙම භෝග මෙම මහ පොළොවේ ඕනෑම ප්‍රදේශයක ඉක්මනින් වැවේ. මේවා හිස් භූමිවල ඇති තරම් වගා කර ගැනීමට ද හැකිය. රජය මැදිහත් වී ඒවා මිල දී ගැනීමේ වැඩපිළිවෙලක් ඇති කරන්නේ නම් වගා කිරීමට ද මිනිසුන් ඉදිරිපත් වනු ඇත.

රසායනික පොහොර ආනයනය නතර කිරීමෙන් විදේශ විනිමය දඉතිරි වේ. එම මුදලින් කාබනික පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇති කළ හැකිය. මේවාට අවශ්‍ය දැනුම තිබෙන පුහුණු ශ්‍රමය ද මෙරට තුළ තිබේ. පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල කෘෂිකර්ම විෂය හැදෑරු දරුවන් විරැකියාවෙන් සිටින මේ මොහොතෙහි මෙම කර්මාන්තයට ඔවුන්ගේ සේවය දායක කර ගැනීමට හැකියාව තිබේ නම් සහ කෘෂි ඩිප්ලෝමාධාරීන්ගේ විරැකියාවට විසඳුමක් ලෙස ද ඔවුන් ද මේ සේවයට බඳවා ගත හැකිය. ඔවුන් ඉතා හොඳින් කාබනික පොහොර නිෂ්පාදනයට දායක වනු ඇත.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් කුඩා ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කළ යුතුය. කාබනික ගොවිතැනේ වටිනාකම මෙන්ම පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ගැන පිළිබඳව ද ඔවුන් දැනුම්වත් කළ යුතුය. සෑම පුද්ගලයකුම තමාට හැකි මට්ටමින් කාබනික පොහොර නිපදවීමට දායක කර ගැනීම වැනි ක්‍රියාවලින් මෙම වැඩපිළිවෙළ සාර්ථක වනු නොඅනුමානය.

එසේ නැතිව මෙයට පිළියම ලෙස කාබනික පොහොර ආනයනය කිරීම නොකළ යුත්තකි.

“එකක් කඩතොලු වසන්නට ගොස් දෙකක් කඩතොලු හදාගත්තයි ඉඳුරුවේ ආචාරියා” යනුවෙන් සඳහන් වන පරිදි වෙනත් රටකින් කාබනික පොහොර ආනයනය රසායනික පොහොර ආනයනයට වඩා අතිභයංකර වනු ඇත.

විශේෂයෙන්ම චීනය වැනි රටකින් ආනයනය කරන්නේ නම් අති විශාල වශයෙන් බැර ලෝහ අඩංගු විය හැකිය. රසායනික පොහොරවලට වඩා අතිවිශාලව කාබනික පොහොර ගෙන ඒමේදී දශක ගණනාවක් ගෙන ආ බැර ලෝහවලට වඩා කෙටි කලකින් ඒවා අපට ලැබෙනු ඇත.

එපමණක් නොව නෙදන්නා වල් බීජ, මරාගෙන මැරෙන ජාන සහිත බීජ මේ සමඟම රට තුළට එන්න පැමිණිය හැකිය. ඒ තුළින් මෙරට පාරම්පරික දේශීය භෝග (බීජ) විනාශ වීමට ද ඉඩ තිබේ.

කිසි දින මේ රටේ නොතිබුණු බැක්ටීරියා, දිලීර වැනි භයානක ලෙඩ රෝග බෝකරන ක්ෂුද්‍රජීවීන් ද මේ සමඟම රට තුළට පැමිණිය හැකිය.

රසායනික පොහොර බැහැර කර කාබනික පොහොර තුළින් කාබනික ගොවිතැන කරා යෑම අප රටේ සුබසිද්ධිය තකා වේ නම් අපම ඒවා නිෂ්පාදනය කර ගැනීම මිස ආනයනය කිරීම කිසිසේත්ම නොකළ යුතු දෙයක් බව පෙනේ.

කෘෂීකර්ම ආචාර්ය – ඩබ්ලිව්. ධම්මිකා

උපුටා ගැනීම ජූනි 16 දිනමිණ – කාබනික පොහොර ප්‍රවර්ධනයේ සහ ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැදගත්කම සලකා සම්පූර්ණයෙන් උපුටා ගන්නා ලදි.

Related Posts