එජාපයට දිනන්න තිබෙන එකම බාධාව ජනාධිපතිතුමා ජනතාවට කන්න දීමද – ලක්ෂ්මන් යාපා

Spread the love

පසුගිය දා පැවතී ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති හා වැඩ බලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අමතමින් ‘මහින්ද රාජපක්ෂ පවුල ඉතිහාසයේ පටන්ම ජනතාවට හොඳට කන්න දුන් පවුලක්. අගමැතිවරුන්ට හා රාජ්‍ය නායකයන්ට පමණක් සීමා වී තිබූ අරලියගහ මන්දිරය පොදු ජනතාවට විවෘත කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා’ යැයි පැවසීය.

විවිධ වෘත්තිකයන්, පූජකවරුන්, රජයේ නිලධාරීන්, ත්‍රිරෝද රථ රියැදුරන් යනාදී විවිධ කණ්ඩායම් අරලියගහ මන්දිරයට කැඳවා ඔවුන් ඇමතීමේ සම්ප්‍රදායක් ජනාධිපතිතුමාට තිබෙන බවද, 2004 වසරේ සිට මේ කටයුත්ත දිගටම සිදු කැරෙන බවද මෙසේ අරලියගහ මන්දිරයේදී ජනතාවට ආහාර ලබා දෙන්නේ මහජන මුදලින් නොවන බවද හෙතෙම පැවසීය.

ඡන්ද කාලයට ජනාධිපතිවරයාට වැඩ නතර කළ නොහැකි බව කියා සිටි අමාත්‍යවරයා, ආණ්ඩු පක්ෂයක් තිබියදී විපක්ෂය ජයග්‍රහණය කළ අවස්ථා මේ රටේ තිබෙන බවත් එහෙත් එක්සත් ජාතික පක්ෂය ඡන්ද ජයගත නොහැකි තත්ත්වයට අද පත්ව තිබෙන බවද පැවැසීය. මේ නිසා ඔවුන්ට දිනන්න තිබෙන එකම බාධාව ජනාධිපතිතුමා ජනතාවට කන්න දීමදැයි ඇසීමට සිදුවන බවද අවධාරණය කෙරිණි.
ඡන්දය ලබා ගැනීම සඳහා අරලියගහ මන්දිරයේ දන්සල් පවත්වන බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කර තිබු චෝදනාවට පිළිතුරක් වශයෙන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එම කාරණා සඳහන් කෙළේය.

RSL

Related Posts