ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඉරිදා සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් අල් සෞද් කුමරු ජෙඩාහිදී හමුවීය. එහිදී ඉන්දියාව සහ සෞදි අරාබිය අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ඔහු දැනුවත් කළේය.

මෙම හමුව පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසීය.

එස් ජයශංකර් සෙනසුරාදා දින සෞදි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු සමඟ සාකච්ඡා පැවැත්වීය.

ඉන්දීය-සෞදි අරාබියේ උපායමාර්ගික හවුල්කාරිත්ව කවුන්සිලයේ රාමුව යටතේ පිහිටුවන ලද දේශපාලන, ආරක්ෂාව, සමාජීය සහ සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ කමිටුවේ පළමු අමාත්‍ය රැස්වීමේ සම සභාපතිත්වය ද අමාත්‍යවරුන් දෙදෙනා විසින් දරන ලදී.

ලෝකය මුහුණ දෙන වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වයන් හමුවේ ජී-20 ඇතුළු බහුපාර්ශ්වික ආයතන සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම හමුවේදී ඔවුන් එකඟ විය.

සෞදි විදේශ අමාත්‍යවරයා සමග වර්තමාන ගෝලීය දේශපාලන හා ආර්ථික උපනතීන් පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය

සෞදි අරාබියේ අගනුවර වන රියාද්හිදී ප්‍රින්ස් සවුද් අල් ෆයිසාල් රාජ්‍යතාන්ත්‍රික අධ්‍යයන ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ ද ජයිශංකර් සාකච්ඡා කළේය.ජයිශංකර් තෙදින සංචාරයක් සඳහා සෙනසුරාදා සෞදි අරාබියට පැමිණියේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සංචාරයට පෙර ප්‍රකාශ කළේ ඉන්දියාව සහ සෞදි අරාබිය අතර දේශපාලන, ආරක්‍ෂාව, බලශක්ති, වෙළෙඳ, ආයෝජන, සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාව සහ සංස්කෘතික යන ක්ෂේත්‍ර වල සබඳතා සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති බවයි.

දෙරටේ ඉහළම නායකත්වය කොවිඩ්-19 වසංගතය අතරතුර පවා සමීප සම්බන්ධතා පැවැත්වීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්