ප්‍රංශයේ පවතින නියඟය සහ විනාශකාරී ලැව් ගිනි පිළිබඳව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා සාකච්ඡා කළේය. ප්‍රංශයේ ඇති වී තිබෙන දේශගුණික විපර්යාස වලට මුහුණදීමට ඉන්දියාවේ සහයෝගය අගමැති මෝදි විසින් ප්‍රංශ ජනාධිපති වෙත ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවලදී බලශක්ති සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා සහයෝගිතාවයෙන් යුක්තව කටයුතු කිරීමට නායකයන් දෙදෙනා එකඟ වුහ.

ඉන්දියාව-ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වය යටතේ පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ ගෝලීය සහ කලාපීය වැදගත්කම පිළිබඳ සාකච්ඡා කළ බව ඉන්දීය අගමැති මෝදි ට්වීටර් පණිවුඩයක් මගින් පැවසීය.

සිවිල් න්‍යෂ්ටික බලශක්ති සහයෝගිතාව සහ ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳව දැනට ක්‍රියාත්මක ද්විපාර්ශික මුලපිරීම් නායකයන් දෙපළ සමාලෝචනය කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. එමෙන්ම භූ දේශපාලනික අභියෝග මෙන්ම ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳ ඔවුහු සාකච්ඡා කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ ඉන්දීය-ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ දෙරටේ නායකයන් දෙදෙනා තෘප්තිමත් වූ බවයි. එමෙන්ම සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි නව ක්ෂේත්‍ර පිළිබඳ අධ්‍යයනය කිරීමට නායකයන් දෙපළ එකඟ වූ බව එම ප්‍රකාශය වැඩිදුරටත් පවසයි.

නායකයන් දෙදෙනා අතර දුරකථන සංවාදය සිදුව ඇත්තේ 76 වැනි නිදහස් දිනයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ඉන්දියාවට සුබපැතුම් පිරිනැමීමෙන් දිනකට පසුවයි. ප්‍රංශ ජනාධිපතිවරයා ට්වීටර් සටහනක් මගින් දක්වා තිබුණේ ඉන්දියාවේ විශ්මය ජනක ජයග්‍රහණ ආඩම්බර වන බවත් ප්‍රංශය සැමවිටම ඉන්දියාව වෙනුවෙන් සිටින බවත්ය.

ඉන්දියාව සැබවින්ම ප්‍රංශය සමඟ එහි සමීප සබඳතා අගය කරන බවත් ගෝලීය යහපත සඳහා ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය වැදගත් බවත් මැක්‍රොන්ට ස්තුතිය පුද කරමින් අගමැති මෝදි ට්විටර් සටහනක් තැබීය.