කොංගෝවේදී එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල සාමාජිකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය සාම සාධක භටයන් දෙදෙනෙකු මිය යාම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සමඟ සාකච්ඡා කළේය.

ඔහු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථායීකරණ මෙහෙයුමට එල්ල ප්‍රහාරය පිළිබඳව නායකයන් දෙපළ පුළුල් ලෙස දුරකතන සංවාදයක යෙදින.

කොංගෝවේ දී ඉන්දීය සාම සාධක භටයන් දෙදෙනෙකු දිවි පිදූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

මෙම හමුව පිළිබඳ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති මෝදි පැවසූයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක දූත මණ්ඩලයට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය සාම සාධක හමුදාවේ නිර්භීත සාමාජිකයන් දෙදෙනකු දිවිපිදූ බවයි. එමෙන්ම අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා ඉක්මන් පරීක්ෂණ ඉල්ලා සිටි බවද ඔහු සිය ට්වීටර් සටහනේ දක්වා තිබිණ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සඳහා ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම අගමැති මෝදි අවධාරනය කළේය. ඉන්දීය සාම සාධක භටයන් 2,50,000කට අධික සංඛ්‍යාවක් එක්සත් ජාතීන්ගේ සාම සාධක දූත මණ්ඩල යටතේ මේ දක්වා සේවය කර ඇත.ඉන්දීය සාම සාධක භටයන් 177 දෙනෙකු එක්සත් ජාතීන්ගේ සාම සාධක දූත මණ්ඩලවල සේවයේදී දිවි පුදා ඇත. වැඩිම සාමසාධක භටයන් ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාග කොට ඇති රට වන්නේ ද ඉන්දියාවයි.

කොංගෝවේ දී සිදු වූ ප්‍රහාරයෙන් මිය ගිය ඉන්දීය සාම සාධක හමුදාවේ මිය ගිය සෙබළුන් දෙදෙනාගේ පවුල් වලට,රජයට සහ ඉන්දීය ජනතාවට එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් සිය ශෝකය ප්‍රකාශ කළේය.ඒ අතරම මෙම ම්ලේච්ඡ ප්‍රහාරය ඔහු විසින් හෙළා දැක ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවට සහතික වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සොල්දාදුවන් 2040 කට වැඩි පිරිසක් දායකත්වය සපයන බව ඉන්දීය අගමැතිවරයා දුරකථන සංවාදයේදී පවසා ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්