අන්තවාදය වපුරන, පවුල්වාදය පරාජය කරවීමට සමස්ත ජනතාවගේ සහයෝගය ලැබෙන බව මට විශ්වාසයි

Spread the love

“2015 දී අපි ලබාගත් ජයග්‍රහණය තුළින් ජනතාවට අපි ලබාදුන් පොරොන්දු සියල්ලක්ම ඉෂ්ට කරන්න අපිට හැකිවුනේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි හවුල් ආණ්ඩුවක් තුළ පාලන බලය හිමිකරගැනීම. නමුත් සමස්ත රටට වගේම කොළඹ දිස්ත්‍රික්කයටත් අපි හැකි පමණින් සේවයක් කලා. මෙතෙක් පැවති අනෙක් ආණ්ඩු වලට සාපේක්ෂව, අපිට හැකිවුණා සංවර්ධන ක්‍රියාදාමයන්ට අවතීර්ණ වෙන්න. අපි කොළඹ දිස්ත්‍රික් නිවාස අහිමි ජනතාවට නිවාස ලබා දුන්නා. පානීය ජලය නොමැතිව සිටි ජනතාවට ජල පහසුකම් ලබාදෙන්න හැකිවුණා. ඒ වගේම තවත් අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් රාශියක් ඔවුන්ට ලබාදීලා, ඔවුන්ගේ ගැටලු වලට විසදුම් ලබාදෙන්න අපට හැකියාව ලැබුණා. නොවැම්බර් 16 දායින් පසුව බිහිවන අපේම ජනාධිපතිවරයෙක්, අපේම අගමැතිවරයෙක් සහිත අපේම ආණ්ඩුවක් තුලින් මීට වඩා විශාල සේවයක් මහජනතාවට සපයන්න හැකිවේවි” යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකලේ, පසුගියදා කොටහේන ප්‍රදේශයේ පැවති ගෙයින් ගෙට – හදවතින් හවතට වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“ගෙයින් ගෙට ගිහින්, හදවතින් හදවතට කතා කරලා, සජිත් ප්‍රේමදාස මහතා නොවැම්බර් මස 16 දා ජනාධිපති ධූරයට පත් කරන්නයි අපි මහන්සි වෙන්නේ. ඒ තුළින් ජනතා අවශ්‍යතා නිසි පරිදි ඉටු කිරීම තමයි අපේ බලාපොරොත්තුව.

ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලබාගන්නවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් රටේ සෑම කොනකින්ම තම දායකත්වය සපයන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේක අන්තවාදයයි, ප්‍රජාතන්ත්‍රවාදයයි අතර සටනක්. අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාය තුළින් සමස්ත රටම ජයග්‍රහණය කරවන්නයි. අන්තවාදය වපුරන, පවුල්වාදය පරාජය කරවීමට සමස්ත ජනතාවගේ සහයෝගය ලැබෙන බව මට විශ්වාසයි” යැයි පැවසීය.

RSL

Related Posts