ශ්‍රී ලංකාව දැන් ලෝකයේ මධ්‍ය මට්ටමේ ආදායම් ලබන රටක්

Spread the love

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත  සුබිනේ නන්දි මහතා පවසන්නේ ඒක පුද්ගල ආදායම වර්ධනය වීමත් සමඟ ශ්‍රී ලංකාව ලෝකයේ මධ්‍ය මට්ටමේ ආදායම් ලබන රටක් බවට පත්ව ඇති බවයි.

අද වනවිට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 2200ක් බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන සමස්ත ආර්ථික වර්ධන වේගය සියයට 8.0 දක්වා ඉහළ නැඟ තිබෙන බවද පවසයි.

සෞඛ්‍ය, අධ්‍යාපන ආදී ක්ෂේත්‍රයන්හි වර්ධනය මෙන්ම අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් කරන ආයෝජනයන් හේතුවෙන් ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත්වීමට පදනම සැකසී තිබෙන බවත්, මෙවැනි වර්ධනයක් ළඟා කර ගැනීමත් සමඟම ශ්‍රී ලංකාව දකුණු සහයෝගීතාවයේ නායකයකු බවට පත්වීම සඳහා සුදුසුකම් ලබා තිබෙන බවත් සුබිනේ නන්දි මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව අනාවරණය කළේ එක්සත් ජාතීන්ගේ 66 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී පසුගිය දා (24 ඔක්.) පැවැති උත්සවයක් අමතමිනි.

අභියෝග රැසකට මුහුණදුන් ශ්‍රී ලංකාව වසර 27ක කාලයක් යුද ගැටුම් පැවැති බවත් ඒ මඟින් රටේ ආර්ථික වර්ධනයට හා මානව සම්පත් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී තිබුණු බවත් සිහිපත් කළ සුබිනේ නන්දි මහතා 2004 වසරේදී ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයන් 35000ක ජීවිත අහිමි වූ බවත් සඳහන් කළේය.

මේ අතර රටේ සංවර්ධනය සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ පළමු වරට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය සියයට 50 දක්වා ඉහළට පැමිණ තිබෙන බවයි. පසුගිය කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විවිධ අභියෝග රැසකට මුහුණදුන් බව පැවැසූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරයා එහිදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ක්‍රියාදාමය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදී තිබෙන බවද සාම සාධක සේවය සඳහා හමුදා භටයන් සැපයීම ඉන් එක් කාර්යයක් බවද පැවැසුවේය.


RSL

Related Posts