ශ්‍රී ලංකාවේ සීඝ්‍ර ප්‍රගතිය පිළිබඳ ජපානය සතුටට පත් වෙනවා – යසුෂි අකාෂි

Spread the love

ත්‍රස්තවාදය පරාජයට පත් කර කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන සීග්‍ර ප්‍රගතිය ජපානයේ සතුටට හේතු වී ඇති බව ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි.
යසුෂි අකාශි මහතා ඊයේ(28)  පෙරවරුවේ  ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයටද ඊයේ අකාෂි මහතා ඇතුළු ජපාන දූත පිරිස සහභාගී වූහ. මෙම අධිවේගී මාර්ගය රටේ සංවර්ධනයට ඉමහත් පිටුවහලක් වන බව ද මෙහි දී පැවසූ අකාෂි මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ජපානයේ අඛණ්ඩ සහය ලබා දෙන බව ද පැවසීය.

සංවර්ධනය සඳහා ජපානයෙන් ලැබෙන සහය ජනාධිපතිතුමා අගය කළ අතර, ඒ පිළිබඳ ව ජපාන රජයට ස්තූතිය ද පළ කළේය.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ගමන් මග පිළිබඳවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අකාෂි  මහතා වෙත කරුණු පැහැදිලි කළ අතර, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන ආකාරය ද ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළේය.

පසුගියදා ජපානයට බලපෑ සුනාමි ව්‍යසනයේ දී ශ්‍රී ලංකාව ලබා දුන් සහය සිහිපත් කළ අකාෂි මහතා ඊට ජපානයේ ස්තූතිය ශ්‍රී ලංකා රජය වෙත පළ කර සිටියේ ය.

මෙම සාකච්ඡාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබ්‍රහිතෝ හොබෝ (Mr. Nobuhito Hobo) ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙන්ජි මියාටා (Kenji Miyaata) යන මහත්වරුන් ද සහභාගී වූහ.

RSL

Related Posts