මේක අඳබාල ආණ්ඩුවක් – ජ.වි.පෙ.

Spread the love

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (14 අගෝ.) පැවති මාධ්‍ය හමුවකදී පැවසූයේ වත්මන් ආණ්ඩුව බාල බෙහෙත්, බාල තෙල්, බාල පොල්, බාල සිමෙන්ති ගෙන්වන අඳබාල ආණ්ඩුවක් බවයි.

විජිත හේරත් මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘රජයේ අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් සිමෙන්ති ‘නිශ්චිත භාණ්ඩයක්’ ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව එම ගැසට් නිවේදනය නිකුත් කළ දින පටන් ලංකාව තුළ සිමෙන්ති විකිණීමේදී ප‍්‍රමිති සහතිකය ගත යුතුයි. එහෙම නැතිව ප‍්‍රදර්ශනය කිරීමත් තහනම්. බාල සිමෙන්ති ගෙන්වා තිබෙන්නේ මෙවැනි තත්වයක් තිබියදීයි.

මීට මාස හතරකට, පහකට පමණ පෙර විවිධ ආයතන සහ නිලධාරීන් විසින් අගෝස්තු පමණ වන විට සිමෙන්ති හිඟයක් ඇති විය හැකි බවට අනතුරු අඟවනු ලැබුවා.  ඒ බව ආණ්ඩුවේම පුවත්පත් පවා පළ කර තිබුණා. නමුත් කල් ඇතිව ඊට පිළියම් නොයෙදීමේ ප‍්‍රතිඵලයක් ලෙස සිමෙන්ති හිඟයක් ඇති වෙන්න පටන් ගත් විටයි, පාකිස්තානයේ ‘ලකී’ ආයතනයෙන් සිමෙන්ති ගෙන්වූයේ.

මොකක්ද මේ ‘ලකී’ ආයතනය? මේ ආයතනය රටවල් 28කට පමණ සිමෙන්ති අපනයනය කරනවා. නමුත් ගුණාත්මක තත්වයේ වෙනස්කම් තිබෙනවා. යුරෝපයට යවන ප‍්‍රමිතියට නොවෙයි අප‍්‍රිකානු රටවලට යවන්නේ.

බාල සිමෙන්ති සම්බන්ධයෙන් පාකිස්තානයේ ලකී සමාගමට විරුද්ධව දකුණු අප‍්‍රිකාවේ අගනුවර අධිකරණයක නඩුවක් තිබුණා. එම නඩුවෙන් එම සමාගම වැරදිකරු වුණා. මේ සමාගම එහෙම ‘බ්ලැක් ලිස්ට්’ වුණු සමාගමක්.

ඊළඟට අපේ රටේදීත් අවස්ථා දෙකකදී මෙම සමාගමේ සිමෙන්ති ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 2010නොවැම්බර් 12වැනිදා ප‍්‍රමිති ආයතනය දැනුම් දී තිබෙනවා, මේ සමාගමේ සිමෙන්තිවල තිබිය යුතු ප‍්‍රමිතිය නැහැ කියා. ඒ අනුව තාවකාලිකව අත්හිටු වූවා. ඉන් පසුව නැවත වරක් පසුගිය ජූලි 20වැනිදා, ප‍්‍රමිතිය නැති නිසා මේ සමාගමෙන් සිමෙන්ති ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එසේ තිබියදීයි ජූලි 27වැනිදා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා යටතේ තිබෙන ජාතික සමූපකාර මණ්ඩලයෙන් සිමෙන්ති මලූ ලක්ෂයක් ගෙන්වා තිබෙන්නේ. 20වැනිදා තහනම් කරනවා. 27වැනිදා සිමෙන්ති මලූ ලක්ෂයක් ඇනවුම් කරනවා. මෙලෙස සිමෙන්ති ගෙන්වීම බරපතළ ගැටලූවක්.

සිමෙන්ති භාවිතයට සුදුසුද කියා පරීක්ෂා කිරීමට ප‍්‍රමිති ආයතනයට පරීක්ෂණ ක‍්‍රමවේදයක් තිබෙනවා. දින 28කව කාලයක් අවශ්‍ය සම්පීඩ්‍යතා ශක්තිය තිබෙනවාද කියා පරීක්ෂා කරනවා. මේ ගෙන්වා තිබෙන සිමෙන්ති තොගයට අදාළ එම පරීක්ෂණ තවමත් නිමා වෙලාත් නැහැ. මොකද පරීක්ෂණ නිම වෙන්න දින 28ක කාලයක් ගත වෙනවා. මේ වන විටත් සිමෙන්ති සඳහා රුපියල් කෝටි 3ක් පමණ වියදම් කර තිබෙනවා. ඒ වගේම ප‍්‍රමිති සහතිකය ගැනීම සඳහා රුපියල් 48,000ක් වියදම් කර තිබෙනවා. මේවා ජනතාවගේ මුදල්.

සිමෙන්ති ගෙන්වීම තාවකාලිකව අත්හිටුවූ පසු ‘ලකී’ සමාගම කොන්දේසි දෙකකට එකඟතාව පළ කර තිබෙනවා. පළමු කොන්දේසිය ප‍්‍රමිතියෙන් යුතු සිමෙන්ති නිපදවා ඒ බව දැනුම් දෙනවා කියන එක. දෙවැන්න ප‍්‍රමිතියෙන් බාල සිමෙන්ති ලංකාවට එවන්නේ නැත කියන එක. මෙම සමාගම මේ කොන්දේසි දෙකම මේ වන විට උල්ලංඝනය කර තිබෙනවා.

දැන් ජනාතවට සැකයක් අවිශ්වාසයක් ඇති වී තිබෙනවා. බාල පෙට‍්‍රල් ගෙන්වීමේ අනිසි ප‍්‍රතිඵල ඒ මොහොතේම දැන ගන්න ලැබුණා. වාහන මග නතර වුණා. නමුත් මේ සිමෙන්තිවල අනිසි ප‍්‍රතිඵල දැන ගන්නේ වෙන්නේ කාලයක් ගියාට පසුව ගොඩනැගිලි කඩා වැටෙද්දී.

ඒ වගේම ප‍්‍රමිතියෙන් බාල මේ සිමෙන්ති මුදා හරින්න බැහැ කියා ප‍්‍රමිති ආයතනය කිව්වා. එවිට ඇමතිවරයා කිව්වේ, මීට පෙර මෙම සමාගමෙන් සිමෙන්ති ගෙන්වා තිබෙනවා, ප‍්‍රමිති ආයතනය ඊට සහතික දී තිබෙනවා, එහෙම වෙලා තිබෙන්නේ පගාවට කියලා. ඒක බරපතළ චෝදනාවක්. ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා පගාවට ගෙන්වන්න පුළුවන් කියලා. එහෙම නම් ජනතාව කොහොම මේ රජය විශ්වාස කරන්නේ.

රේගුව මේ සිමෙන්ති තොගය තාවකාලිකව ගොඩනැගිලි සංස්ථාවේ ගබඩාවල ගබඩා කර තැබුවා. දැන් ඒ තොග බලෙන් අරගෙන වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. රේගු අධ්‍යක්ෂ කියනවා ඔවුන් මේ සිමෙන්ති තොග නිදහස් කළේ නැහැ කියලා.

එහෙම නම් රේගුව භාරයේ තිබූ සිමෙන්ති තොග ගබඩා කඩා නිදහස් කර ගැනීමට ක‍්‍රියාත්මක වූ අදිසි හස්තය කුමක්ද? මේක ඔටුනු නොපලන් කුමාරයෙක්ගේ බිස්නස් එකක්. ඇමතිවරයා කර ගැහුවේ ඒකටයි. සිමෙන්ති වෙනුවට මැටි ගෙන්වන තත්වයට පත් වී තිබෙන්නේ ඒ නිසා. මේ ආණ්ඩුව බාල බෙහෙත්, බාල තෙල්, බාල පොල්, බාල සිමෙන්ති ගෙන්වන අඳබාල ආණ්ඩුවක්.

ආණ්ඩුව කිව්වේ සිමෙන්ති හිඟය නැති කරන්න මේ සිමෙන්ති ගෙන්වූවා කියලා. නමුත් මේ බාල සිමෙන්ති ජනතාව ගන්නේ නැහැ. ඒ නිසා සිමෙන්ති හිඟය නැති වෙන්නේ නැහැ. මේ තත්වය තුළ සිමෙන්ති මිල තවත් ඉහළ යන්න පුළුවන්. ඒ වගේම මේ සිමෙන්ති යොදා ගන්න වෙන්නේ රජයේ පොදු ව්‍යාපෘතිවලට.

මේ නිසා අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා, මෙම බාල සිමෙන්ති බෙදා හැරීම වහාම නතර කරන්න, බෙදා හැර ඇති සිමෙන්ති කඩිනමින් යළි එකතු කර ගන්න. ඒ වගේම ප‍්‍රමිති ආයතනයට සහ රේගුවට හැකියාව තිබෙනවා, ප‍්‍රමිතියෙන් තොර සිමෙන්ති වෙළඳපොළට නිකුත් කිරීමට මැදිහත් වූ සියලූ දෙනාට විරුද්ධව නඩු පවරන්න.’’

RSL

Related Posts