ත‍්‍රස්තවාදීන් අද අපට පහර දෙන්නේ මානව හිමිකම්වලට මුවාවෙමින් – ජනපති

Spread the love

එදා ත‍්‍රස්තවාදීන් අපට පහර දුන්නේ සිවිල් ජනතාව අතර සිට බවත්, අද පහර දෙන්නේ ජනතාවගේ මානව හිමිකම්වලට මුවා වී බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපතිතුමා මෙසේ පැවසූවේ ඊයේ (22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවය අමතමිනි.

ත‍්‍රස්තවාදය පරාජය කොට වසර 02ක් ගත වුවත් තවමත් අපේ මව්බිමේ ජාතික ආරක්‍ෂාවට තිබෙන අභියෝගවල නිමාවක් නැති බව පැවසූ ජනාධිපතිතුමා, එදා ත‍්‍රස්තවාදීන් ඉපයූ මුදල් ආයුධ, නැව්, අහස් යානා මිලට ගැනීමට, එල්ටීටීඊ සාමාජිකයින් නඩත්තු කිරීමට යොදා ගත් අතර, අද ඔවුන් ජාත්‍යන්තර ව එකතු කරන මුදල් යොදවන්නේ මව්බිමට එරෙහි ප‍්‍රචාරවලට හා මව්බිම අස්ථාවර කරන දේශපාලන කුමන්ත‍්‍රණවලට බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

සුදු කොඩි රැගෙන ආ අයටත් වෙඩි තැබූ බවට කළ අසත්‍ය චෝදනා තවමත් අපගේ මාතෘභූමියට තිබෙන බවත්, ව්‍යාජ රූපවාහිනී වැඩසටහන් තනා ලෝකයට ප‍්‍රදර්ශනය කිරීම, ලංකාවට එරෙහි මානව හිමිකම් කමිටු ජාත්‍යන්තරව පිහිටුවීම, යුද අපරාධ චෝදනා යනාදී සියල්ල තිබෙන්නේ ඒකාබද්ධ වී බව අප විසින් තේරුම් ගත යුතු යැයි ද ජනාධිපතිතුමා පැවසීය.

“මෙය මට පෞද්ගලික වශයෙන් බලපෑමක් නම් මාතෘභූමිය වෙනුවෙන් එය මට ඉවසීම පහසුයි. නමුත් මෙය පෞද්ගලික පහර දීමක් නො වේ. මේ පහර දෙන්නේ මාතෘභූමියටයි. එය ජාතික ආරක්‍ෂාවට එල්ල වන තර්ජනයක් හැටියට ඔබ තේරුම් ගත යුතුයි” යනුවෙන් ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 2011 වසරේ සෑම අංශයකින් ම විශිෂ්ට දස්කම් පෑම වෙනුවෙන් පිරිනැමෙන ජයග‍්‍රාහී ඵලක එම සිසු සිසුවියන් වෙත ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

කළමනාකරණය, ඉංජිනේරු තාක්‍ෂණය, වාණිජ්‍ය, කාර්මික විද්‍යාව හා කලා යන විෂය ධාරාවන්හි ප‍්‍රථම උපාධි හා පශ්චාත් උපාධි මෙම උත්සවයේ දී පිරිනැමිණි.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ද, ත‍්‍රිවිධ හමුදාපතිවරුන් ද, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජනරාල් රොහාන් දළුවත්ත මහතා ද, ත‍්‍රිවිධ හමුදා නිලධාරීන්, දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් ද එක් ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Loading...

RSL

Related Posts