අනුමැතිය නොලත් පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු භාවිතය නීති විරෝධියි

Spread the love

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් අනුමත නොකළ පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු ( PABX) භාවිතය නීති විරෝධී වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා ඇත.

ඒ මහතා තවදුරටත් පැවසුවේ, ඇතැම් පාරිභෝගිකයින් ජංගම දූරකතන සිම් භාවිත පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු (PABX) උපකරණ භාවිතා කරන බවට මේ වන විට කොමිෂන් සභාවට පැමිණිලි ලැබී ඇති බවයි. මේ වන විට  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් 1996 අංක 27 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතින් සංශෝධිත 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 21 වන වගන්තියට අනුව වෙළෙඳ බලපත්‍ර මඟින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කළ විදුලි සංදේශ උපකරණ පමණක් ආනයනය කරන ලෙස මහජනතාව වෙත දැනුම් දී ඇති බවයි.

එමෙන් ම විදුලි සංදේශ පනතේ 17 වන වගන්තියට අනුව බලය ලත් විදුලි සංදේශ සමාගම් සඳහා  සිය විදුලි සංදේශ පද්ධතිය පවත්වා ගෙන යාම සහ විදුලි සංදේශ සේවා සැපයීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් ලබා දී ඇති මාදිලි අනුමැතිය යටතේ ආනයනය කරන ලද විදුලි සංදේශ උපකරණ විදුලි සංදේශ පද්ධතිවලට සම්බන්ධ කිරීමට අවසර ලබා දී ඇති බව අනූෂ පැල්පිට මහතා තවදුරටත් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් කිසිදු ආකාරයකින් ජංගම දුරකතන සිම්පත් සඳහා භාවිත කළ හැකි පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු (PABX) උපකරණ අනුමත කර නොමැති බැවින් දැනට එවැනි උපකරණ භාවිතා කරන්නේ නම් ඒවා විසන්ධි කරන ලෙසත්, ඒවා භාවිතා කිරීමෙන් වළකින ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසූ අතර, ඉදිරියේදී  මහජන දැනුවත් කිරීමෙන් පසුවද මෙවන් උපකරණ භාවිතා කරන්නේ නම් එය නීති විරෝධී ක්‍රියාවක් බැවින් ඒ වෙනුවෙන් වැටලීම් කණ්ඩායම් යෙදවීමටත් අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts