ආණ්ඩුව ගොවි ජනතාවගේ මුදල් ගසා කනවා – අනුර කුමාර

Spread the love

හත් ලක්ෂ හැට දහසකට ආසන්න ගොවි ජනතාවකගෙන් මාස 6 න් 6ට කන්නෙන් කන්නට වාරික කපාගෙන මිලියන ගණනින් උපායගත් මුදල් ආණ්ඩුව විසින් ගසාකමින් සිටින බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට වාරික වශයෙන් ගොවි ජනතාවගෙන් මුදල් අය කරගෙන ඇතත් ‍වයසට ගොස් ගොවිතැන් කිරීමට හයි හත්තිය නැති අසරණ ගොවීන්ට මේ වන තුරුත් එකී විශ්‍රාම වැටුප ලබා දී නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ඊයේ(07) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමිනි.

ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ කටයුතු කළ “කෘෂි රක්ෂණ මණ්ඩලය” මේවන විට කඩාවැටී ඇතැයිද ජනතාවගෙන් ගසාකෑ මුදල් යළි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවට තමන් රජයට යෝජනා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පශු සම්පත්සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර් මිත්‍රපාල මහතා අද පාර්ලිමේන්තුවේ සිය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් තෘණ වගාව සඳහා ඉඩක් වෙන්කරන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව අනුර කුමාර මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

එසේ වුවද අනුන්ගේ අමාත්‍යංශවලින් සහය ඉල්ලන්නට මත්තෙන් තමන්ගේ අමාත්‍යංශයේ කළ යුතු දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු බව දනවමින් මන්ත්‍රීවරයා මිත්‍රපාල නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ අමෙරිකානු සමාගමකට විකුණා දමා ඇති කන්දකැටිය ගොවිපළ පිළිබඳ කුමක් කියන්නේද යන්නයි.

කන්දකැටිය ගොවිපළට අයත් ඉඩම් වගා කටයුතු සඳහා පර්චස් 40 බැගින් ගොවීන්ට බෙදාදීමට කටයුතු කරමින් සිටියදී පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මෙම ඉඩම පැවරිය නොහැකි බව දන්වා එකී කටයුත්ත අතරමග නැවතුණු බව දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් එසේ පැවරිය නොහැකි බව දැන්වූ මෙම ඉඩම පැවරිය මේවන විට අමෙරිකාවේ ඩෝල් සමාගමට විකුණා දමා ඇති බවත්,එසේ විකුණා දමනු ලැබුවේ කුමන නීතිමය විධිවිධාන මත පදනම්වීද යන්න පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ජාතික සළු පිළි පැළඳ ගත්,ගැමි ජනතාවගේ කුරහන් සුවඳ හඳුනනවා යයි කියනු ලබන දේශප්‍රේමී ආණ්ඩුවට රටේ ගොවි ජනතාවට වඩා අමෙරිකානු සුද්දන් වටින බව මෙවැනි ක්‍රියා මාර් වලින් පැහැදිලි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RSL

Related Posts