අයවැයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නොසලකා හැරලා – සමාජවාදී කාන්තා සංගමය

Spread the love

පසුගිය වසරේ වෙන්කළ මුදලට වඩා 2012 අයවැය වෙනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයට වෙන්කළ මුදල කපාහැර ඇති බව සමාජවාදී කාන්තා සංගමය පෙන්වා දෙයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(5) උදේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමය මේ බව පෙන්වා දුන්නේය.

වත්මන් ආණ්ඩුව කාන්තාවන් වෙනුවෙන් විවිධ පොරොන්දු රාශියක් ලබාදී ඇතත් ඒ කිසිවක් ඉටුනොකර ඇති බවද මේ තත්වය හමුවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම සදහා අරගල කිරීමට සිදුවී ඇති බවද සමාජවාදී කාන්තා සංගමය ඊට නායකත්වය දීමට සූදානම් බවද එම සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය අවධාරණය කළාය. රටේ මුළු ජනගහනයෙන් 52%කට ආසන්න පිරිසක් කාන්තාවන් බව පෙන්වා දුන් ඇය සියලු කාන්තාවන්ගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට නම් ධෛර්යයෙන් කටයුතු කරන බව අවධාරණය කළාය.

ජීවන වියදම ඉහළයාම, උතුරු – නැගෙනහිර 90,000ක් පමණ වන වැන්දඹු කාන්තාවන්ගේ ප්‍රශ්න විසදීම, විදේශගත සේවා නියුක්තික කාන්තාවන්ට බලපා තිබෙන ප්‍රශ්න විසදීම, රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසදීම, පෙර පාසල් සංවර්ධනය සදහා වෙන්කළ මුදල් පවා ප්‍රයෝජනයට නොගැනීම යන මූලික ප්‍රශ්න විසදා ගැනීම සදහා කාන්තාවන් දැනුවත් කිරීම සහ ඒ පිළිබඳව ආණ්ඩුවට බලපෑම් කිරීම මූලික කරගනිමින් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන ලදී.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා එම සංගමයේ ජාතික කමිටු සාමාජිකාවන් වන ශ්‍රියානි මඩුගල්ල, සුභානි පතිරණ, චන්ද්‍රමාලි පෙරේරා, ශ්‍රියා කෝන්ගල්ල, සෙල්වි ක්‍රිශ්නන් හා චාන්දනී කරුණාතිලක යන මහත්මීහුද සහභාගීවී සිටියහ.

RSL

Related Posts