X-PRESS PEARL කපිතාන්වරයාට ඇප දුන්නේ ඇයි ?

Spread the love

කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (ජුනි 14) නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳුදා (ජූනි 14) අත්අඩංගුවට ගනු ලැබූ අදාළ නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ටියුට්කාලෝ විටැලි නමැත්තා මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු පරීක්ෂා කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අදාළ සැකකාර කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පුද්ගලික බැඳුම්කරයක් මත මුදාහැරීමට නියෝග කළ අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.

එම නියෝගය දිවයිනේ සියලුම ගුවන්තොටුපළ හා වරාය මෙන්ම ආගමන විගමන පාලකවරයා වෙත ද දැනුම් දිය යුතු යැයි නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා කපිතාන්වරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට ද නියෝග කළේය.

යම් හෙයකින් පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද සැකකරුට අවවාද කෙරිණි.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අදාළ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් තිබෙන බව දනිමින් එය වසන් කොට කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙරට ජල තීරය තුළට පිවිස ඇතැයි චෝදනා කළේය.

ගින්න නිසා මෙරටට ගණනය කළ නොහැකි පාරිසරික මෙන්ම ආර්ථික පාඩුවක් සිදු වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ගින්න හේතුවෙන් සිදු වූ පාරිසරික හානිය පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා සමුද්‍රීය දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලද බවද පැවසීය.

එම විශේෂඥයින් නිකුත් කළ අතුරු වාර්තාවකට අනුව අදාළ ගින්න හේතුවෙන් ඇතිවූ පාරිසරික හානිය නිසා සමුද්‍ර ජීවීන්ට දිගු කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන බලපෑම් ඇතිවිය හැකි බව කරුණු දක්වා ඇතැයි පැවසීය.

මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශය හරහා වෙනත් නෞකාවකට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙරටට බොරතෙල් රැගෙන එන නෞකාවන්ට මුහුදේ සිට ගොඩබිමට එම තෙල් පොම්ප කිරීමට තිබෙන අවකාශය ඇහිරී ගොස් ඇතැයි ද පෙන්වා දුන්නේය.

සැකකාර නැව් කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මුලින්ම නැවේ දුමාරය පටන්ගත් අවස්ථාවේදී නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය ආධිකාරියේ නිලධාරීන් එම ගින්න නිවාදැමීමට කටයුතු නොකළේ මන්දැයි ප‍්‍රශ්න කළේය.

තම සේවාදායකයා පැදවූ නැව කොළඹ වරායට ඒමට නියමිතව තිබූ දිනට වඩා දින දෙකක පමණ කාලයක් ප‍්‍රමාද වූ බවත් මුහුදේ ඇතිවී තිබූ කුණාටු තත්වය ඊට හේතු වූ බවත් දැනුම් දුන් සරත් ජයමාන්න මහතා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු නිරීක්‍ෂණය කළ තම සේවාදායකයා සහ ඔහු යටතේ සේවය කළ නිලධාරීන් ඒ බව වරාය ආධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම්දී ඇතැයි කීය.

ඒ අනුව එදින සවස 4.30 ට පමණ නාවික හමුදාවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් නැවට පැමිණියේය යැයි කීය. එලෙස පැමිණි ඔවුන් පැය එකහමාරක පමණ කාලයක් නැවේ ගතකළ බවත් දුමාරය පිළිබඳ පරීක්‍ෂා කළ ඔවුන් ඒ බව ‘හාබමාස්ටර්වරයාට’ ඒ බව දැනුම් දෙන්නම් කියා පිටව ගිය බවත් කී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එදින රාත‍්‍රීයේ නැවේ දුමාරය වැඩිවීමට පටන්ගත් විට මේ පිළිබ`දව තව සේවාදායකයා හා ඔහු යටතේ සිටි නිලධාරීන් ‘හාබමාස්ටර්වරයාට’ ඇතුළු සියලූ පිරිසට පණිවුඩ ලබාදී ඇති බවත් ඒ අනුව ‘හාබමාස්ටර්වරයා’ විසින් නැවේ ගින්න නිවාදැමීම ස`දහා ටග් යාත‍්‍රි කීපයක් එවනු ලැබූවත් ඒවා නැවේ ගින්න නිවා දැමීමට තරම් ප‍්‍රමාණවත් නොවූ බව ද දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව නැවේ ගින්න දරුණු ලෙස පැතිරී ගොස් දින ගණනක් තිස්සසේ ගිනිගෙන මුහුදු බත්වූ බවත් මුල්ම අවස්ථාවේදී නිවාදැමීමට තිබූ නැවේ ගින්න නිවානොදැමුවේ වන්දි ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් දැයි සැකයක් මතුවන්නේ යැයි කී සරත් ජයමාන්න මහතා තම සේවාදායකයාට චෝදනා කරන ආකාරයෙන් ඔහු කිසි`දු අවස්ථාවක නැවෙන් කිසි`දු අපද්‍රව්‍යයක් මුහුදට නොදැමුවේ යැයි ද නැවේ හටගත් ගින්න නිවාදැමීමට උත්සහ කිරීමේදී නැවේ තිබූ යම් යම් අපද්‍රව්‍ය මුහුදට එක්වීමට හැකියා තිබුණේ යැයි ද කීය.

සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබාදීමට හැකියාවක් නැතැයි ද ඔහුට දඩයක් පමණක් නියම කිරීමට හැකියාව ඇතැයි ද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා වන්දි ලබාගැනීම ස`දහා තම සේවාදායකයා ප‍්‍රාණඇපකරුවකු ලෙස ර`දවානොගතයුතු බවද පෙන්වා දුන්නේය.

සම්පූර්ණ වාර්තාව උපුටා ගැනීම – ජූනි 14 වැනි දින බී.බී.සී සන්දේශය හා ලංකාදීප ඊ පුවත්පත වෙතිනි – ශිර්ෂපාඨය හා ඡායාරූපය සංශෝධනය කර ඇත.

Related Posts