අතුරුදහන් වූවන් ගැන ආණ්ඩුවට හොයන්න කිව්වට ඇති වැඩක් නැහැ

Spread the love

උතුරු ප්‍රදේශයෙන් හමුවන සමූහ මිනී වළවල් තුළින් මතු වන්නේ යුද සමයේදී උතුරෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඇටසැකිලි නිසා අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමෙන් ඇති පලක් නැතැයි විජයකලා මහේශ්වරන් මන්ත්‍රිවරිය පසුගියදා යාපනයේ පැවැති උත්සවයකදී ජනතාව අමතමින් පැවැසුවාය.

මන්ත්‍රිවරිය තවදුරටත් කියා සිටියේ මෙතෙක් කලක් උතුරේ සමූහ මිනීවළවලින් හමු වූ මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව දෙස බලන විට යුද සමයේදී අතුරුදන් වූ සියලුම දෙනා සැතපී සිටින්නේ මේ සමූහ මිනී වළවල් තුළ බවට විශ්වාස කළ හැකි බවයි.

යුද සමයේදී අතුරුදන්වූවන් සොයා දෙන මෙන් ආණ්ඩුවට බල කරමින් කොතරම් විරෝධතා දැක්වුවද ප්‍රයෝජනයක් නොමැති බව පැවැසූ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරිය, ඔවුන් සෙවීමට නම් ළිං පතුල් හාරා විපරම් කළ යුතු බවද කීවාය.

මේ නිසා ආණ්ඩුව යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට කළ යුතු බවද මන්ත්‍රිවරිය මෙහිදී කියා සිටියාය. මන්නාරමේ සමූහ මිනීවළවලින් හමුවන මිනිස් ඇටසැකිලිවල ස්වරූපය දෙස බලන විට ඔවුන් කිසි විටකත් යුද්ධ කළ පිරිසක් නොවන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති බවද ඒ සියලුම දෙනා අහිංසක සාමාන්‍ය වැසියන් බවට ඔප්පු වෙමින් පවතින බවද විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

ජනතාව මෙවැනි ප්‍රශ්නවලදී ආණ්ඩුවේ විසඳුම් ඉල්ලා සිටියත් ආණ්ඩුව එම ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන බව තමන්ට වූ අසාධාරණය දෙස බලන විට ඉතා පැහැදිලිව පෙනී යන බවද ඇය කියා සිටියාය. තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩු කරවන උදවිය ඉල්ලා සිටියේ අමාත්‍ය ධුරයේ රැඳී සිටියදී එය පරීක්ෂණ කටයුතුවලට බාධාවක් නිසා යැයි කී බැවින් තමන් එදා ගෞරවාන්විතව ඉල්ලා අස් වූ බව විජයකලා මන්ත්‍රිවරිය සඳහන් කළාය.

වසර ගණනාවක්ම ආණ්ඩුවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ තමන්ට ඒ අයම නඩු පවරන්නට කටයුතු කරන්නේ නම් සාමාන්‍ය ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන සහනයන් ගැන ඔබ සියලු දෙනා සිතා බැලිය යුතුව ඇතැයිද මන්ත්‍රිවරිය පැවැසුවාය