වාසුගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

Spread the love

හම්බන්තොට වරාය සහ අවට ඉඩම් අක්‌කර පහළොස්‌ දහසක්‌ සංවර්ධනය කිරීම සඳහා බදු ගිවිසුමක්‌ යටතේ චීන සමාගම් දෙකකට පැවරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (30) නිෂ්ප්‍රභ කරන ලදී.

සිද්ධිමය කරුණු පෙත්සමට ඇතුළත් කර නැති බැවින් පෙත්සම විභාගයක්‌ පැවැත්වීමට නියම කිරීමෙන් තොරවම අහක දැමිය යුතු යෑයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මූලික විරෝධයක්‌ මතු කළ අතර, ඒ පිළිබඳ සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම විරෝධය පිළිගනිමින් පෙත්සම එලෙස ප්‍රතික්‌ෂේප කිරීමට බහුතර කැමැත්ත අනුව ඊයේ (30 දා) තීරණය කළේය.

බුවනෙක අලුවිහාරේ, සිසිර ආබෲ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා මූලික විරෝධය මතු කරමින් කියාසිටියේ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ චීන රජය අතර 2007, 2012 සහ 2014 යන වර්ෂවල ගිවිසුම් අත්සන් කර ඇති බවයි. පෙත්සම්කරු වන නානායක්‌කාර මහතා එවකට පැවැති රජයේ අමාත්‍යවරයකුව සිටි බවත් එම කාරණාව ඔහු පෙත්සමට ඇතුළත්අ කර නැති බවත් පෙත්සමේ සඳහන් කර ඇත්තේඅ 2017 දී රාජ්‍ය 02 ක්‌ අතර අත්සන් කළ බදු ගිවිසුම ගැන පමණක්‌ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්අ රාජරත්නම් මහතා පෙන්වා දුන්නේය.

එවැනි අවශ්‍යම කාරණාවක්‌ උසාවියට සැඟවීම නිසා පෙත්සම විභාගයට නොගෙන අහක දැමිය යුතු යෑයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.

ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥ ෆයිස්‌ මුස්‌තාපා මහතා වගඋත්තරකාර එක්‌ චීන සමාගමක්‌ වෙනුවෙන් පෙනී සිටියේය.

RSL

Related Posts