USAID සහ රාජ්‍ය නොවන සංවිධාන වටළා ඇත – ජෙහාන් පෙරේරා

Spread the love

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) හරහා ක්‍රියාත්මක වන ඇමරිකානු රජයේ බිලියන ගණනක විදේශ ආධාර වැඩසටහන එක රැයකින් අත්හිටුවීම, ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙම ආධාර ඉතා වැදගත් වූ ලෝකයේ අනෙකුත් කලාපවල ප්‍රධාන පුවතක් වී තිබේ. නිසි දැනුම්දීමකින් තොරව මෙම ආධාර ක්ෂේත්‍රයේ විශාල පරිමාණයේ රැකියා අහිමිවීම් සමඟ එක්සත් ජනපදය තුළම USAID වැඩසටහන් අත්හිටුවීම සිදුවී ඇත.

සාගතයේ හෝ යුද්ධයේ තත්වයන් අවම කිරීම වැනි එක්සත් ජනපද ආධාර ඔස්සේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ ලෝකයේ විවිධ කලාපවල, මෙම තීරණයෙන් බලපෑමට ලක්වූ අවාසනාවන්ත පුද්ගලයන් විශාල සංඛ්‍යාවකගේ ජීවිතවලට තර්ජනයක් එල්ලවී තිබේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ, එක්සත් ජනපද ආධාර අත්හිටුවීම සම්පූර්ණයෙන්ම වෙනස් මාතෘකාවක් යටතේ සිරස්තල බවට පත්ව ඇත.

විදේශ ආධාර වැඩසටහන අත්හිටවූයේ විවිධ හේතූන් නිසා බව එක්සත් ජනපද රජයේ බලධාරීන් ප්‍රකාශ කරමින් සිටින අතර, ඒවා අතර වත්මන් පාලනයේ ප්‍රතිපත්තියට පටහැනි සහ එක්සත් ජනපද ජාතික අවශ්‍යතාවලට නොගැලපෙන අකාර්යක්ෂමතාව සහ අනිසි භාවිතය ඇතුළත් වේ. මෙය පෙර පාලනයන්හි ප්‍රමුඛ භූමිකාවන් ඉටුකළ, නමුත් දැන් ඔවුන්ගේ පාලන කාලයන් හා සම්බන්ධ වැරදි ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට, තමන් කෙරෙහි වන අවධානය වෙනතකට යොමුකිරීමට අවස්ථාවක් ලබාදී ඇත. හිටපු ආණ්ඩුවල මෙම නායකයන් චෝදනා කරන්නේ, තමන්ගේ පාලනය පළවාහරිනු ලැබුවේ, ඔවුන්ට චෝදනා එල්ල වූ වැරදි පාලනය සහ දූෂණය නිසා නොව, USAID විසින් අරමුදල් සපයන ලද රාජ්‍ය නොවන සංවිධානවල කූටෝපායන් නිසා බව පවසමිනි.

2022 මුල් මාසවලදී, එවකට පැවැති පාලනය ඉවත් වන ලෙස ඉල්ලා දිවයිනේ සෑම ප්‍රදේශයකම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදි බැස සිටියහ. ඒ කාලයේ සාමාන්‍ය ජනතාව මුහුණදුන් පෙර නොවූ විරූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ‘අරගලය’ විරෝධතාව නතර කළ නොහැකි ව්‍යාපාරයක් බවට පත්විය. ආණ්ඩුවේ සාමාජිකයන් රටේ ධනය සොරකම් කර ඇති බව විරෝධතාකරුවෝ විශ්වාස කළහ. ආර්ථික බංකොලොත්භාවයේ ආරම්භය යන්නෙන් අදහස් කළේ, ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීමට රජයට විදේශ විනිමය (ඩොලර්) නොතිබූ බවයි. ඉන්ධන සඳහා පෝලිම්වල සහ ඖෂධ නොමැතිකම හේතුවෙන් රෝහල්වල පැය ගණන් සහ දින ගණනක් බලා සිටීමෙන් පසු මිනිසුන් වෙහෙසට පත්ව මියගියේය.

රාජ්‍ය නොවන සංවිධාන පරීක්ෂා කිරීම

දැනට විමර්ශනයට ලක්ව සිටින හිටපු ආණ්ඩුවේ නායකයන් කිහිපදෙනකු විසින් ශ්‍රී ලංකාවට USAID අරමුදල් සැපයීම පිළිබඳව විමර්ශනය කළයුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. නව ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එම කාර්යය රජයේ ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට පවරා ඇත. ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානවලින් ඔවුන්ගේ කටයුතු, අරමුදල් ප්‍රභවයන් සහ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ඔවුන් එයින් කරන දේ පිළිබඳ තොරතුරු රැස්කිරීමේ වගකීම පැවරී ඇත්තේ මෙම රාජ්‍ය ආයතනයටයි. ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සැපයීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇති අතර, ඒ සඳහා ඔහු තම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා සිටියේය.

USAID ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බොහෝ පරිත්‍යාගශීලී ආයතන, රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් ලබාදීමේදී දැඩි ක්‍රියාපටිපාටි අනුගමනය කරන අතර, ඒවා ඔවුන්ගේ උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර නිශ්චිතව සඳහන් කර ඇත. රාජ්‍ය නොවන සංවිධානවලට මෙම අරමුදල් ලබාගැනීම සඳහා තරඟ කිරීමට සිදුවන අතර, ඔවුන් එයින් කරන්නේ කුමක්ද සහ එයින් ඇති වන බලපෑම සැළකිව යුතු ලෙස විස්තරාත්මකව සඳහන් කිරීම අනිවාර්ය වේ. අරමුදල් ප්‍රදානය කළ පසු, රාජ්‍ය නොවන සංවිධාන විසින් තමන් කළ කාර්යයන් පිළිබඳ නිතිපතා වාර්තා ඉදිරිපත් කළ යුතුය. පරිත්‍යාගශීලී ආයතන සාමාන්‍යයෙන් අවධාරණය කරන්නේ අන්තර්ජාතික කීර්තියක් ඇති කීර්තිමත් විගණන සමාගම් විසින්, වාර්ෂිකව හෝ මාස හයකට වරක්, තමන් සපයන ලද අරමුදල් විගණනය කළ යුතු බවයි. ඔවුන් සහාය දුන් ව්‍යාපෘතිවල බලපෑම තක්සේරු කිරීම සඳහා ස්වාධීන බාහිර නිරීක්ෂකයන් පවා යොමුකෙරේ.

රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදුකරනු ලබන කාර්යයන් වල වටිනාකම නම්, ඔවුන් බොහෝවිට මහජන ආකර්ෂණයක් නොමැති, නමුත් වඩාත් සාධාරණ හා සියලු ජන කොටස් ආවරණය වන සමාජයක් සඳහා අත්‍යවශ්‍ය වන ජනප්‍රිය නොවන සහ දුෂ්කර කාර්යයන් භාරගැනීමයි. ඉන්දියාවේ සර්වෝදය (සියල්ලන්ගේ යහපැවැත්ම යන අර්ථයෙන්) ව්‍යාපාරය ආරම්භ කළ මහත්මා ගාන්ධි, 1860 දී ‘යහපත් සමාජයක් යනු, එහි අවසාන සාමාජිකයා ගැන සැළකිලිමත් වන සමාජයක්’ යැයි ලියූ ඉංග්‍රීසි දාර්ශනික ජෝන් රස්කින් වෙතින් ආභාසය ලබා ඇත. ළමා රැකවරණය, සනීපාරක්ෂාව, ආර්ථික සංවර්ධනය හෝ සාමය ගොඩනැගීම යන ක්ෂේත්‍රවල වේවා, බොහෝ රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ කරන පරමාදර්ශය නම්, සෑම කෙනකුම ඇතුළත් කරගැනීම සහ කිසිවකු සමාජයේ ආරක්ෂාවෙන් බැහැර නොකිරීමයි. එහිදී රජය අනිවාර්යයෙන්ම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි.

ආත්මාර්ථකාමිත්වය

උත්ප්‍රාසාත්මක ලෙස, USAID අරමුදල් සහ එවැනි අරමුදල් ලබාගත් සංවිධාන විමර්ශනය කළ යුතු යැයි දැන් ඉල්ලා සිටින අය, USAID එවැනි අරමුදල් සපයන විට, ඔවුන්ම ආණ්ඩු බලය හොබවමින් සිටියහ. ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයද, එවකට රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ කාර්යය සිදුකරමින් සිටියේය. USAID වැනි පරිත්‍යාගශීලී ආයතනවලට, ඔවුන් සපයන අරමුදල් පක්ෂග්‍රාහී දේශපාලන අරමුණු සඳහා භාවිත කිරීම වළක්වන දැඩි ප්‍රතිපත්ති ඇත. රාජ්‍ය නොවන සංවිධාන තම උත්සවවලට දේශපාලනඥයන්ට ආරාධනා කිරීමට සිදුවන විට, ඔවුන්ගේ කටයුතු පටු, දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී ලෙස නොසැළකෙන පරිදි, ආණ්ඩුවේ සහ විපක්ෂයේ අයට පොදුවේ ආරාධනා කිරීම මෙහි අරමුණයි.

වර්තමාන තත්ත්වය ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා රාජ්‍ය නොවන සංවිධාන සඳහා ඉතා දුෂ්කර එකකි. USAID ආයතනය මෙතෙක් විශාලතම පරිත්‍යාගශීලී ආයතනය වූ අතර, එහි අරමුදල් හදිසියේ අත්හිටුවීම නිසා බොහෝ රාජ්‍ය නොවන සංවිධානවලට කාර්ය මණ්ඩලය අඩුකිරීමට, ඔවුන්ගේ වැඩ කටයුතු බොහොමයක් නැවැත්වීමට සහ සමහරක් වසාදැමීමට පවා සිදු වී තිබේ. අන්තර්ජාතික ලෝක පිළිවෙල වඩාත් විවෘතව ආත්මාර්ථකාමිත්වය මත පදනම් වෙමින් පවතින බව පෙනේ. එහිදී ජාතික අවශ්‍යතා ගෝලීය අවශ්‍යතාවලට වඩා ප්‍රමුඛස්ථානය ගන්නා අතර, සමාජයේ ධනවත් කොටස්වල අවශ්‍යතා පොදුවේ ජනතාවගේ අවශ්‍යතාවලට වඩා ප්‍රමුඛස්ථානය ගනී. මෙය මිනිසුන්ට හෝ ශිෂ්ටාචාරයට සෞඛ්‍ය සම්පන්න තත්වයක් නොවේ. මන්ද ලෝක ආගම්වල නිර්මාතෘවරු අන් අයගේ, අසල්වැසියාගේ සහ සියලු ජීවීන්ගේ අවශ්‍යතා ප්‍රමුඛත්වය දිය යුතු බවට ඔවුන්ගේ ස්ථාවර පණිවිඩයෙන් අවධාරණය කර සිටියහ.

1968 දී, විශ්වීය අයිතිවාසිකම් පිළිබඳ ලිබරල් අදහස් අන්තර්ජාතික පද්ධතිය තුළ වඩාත් ප්‍රමුඛ වූ විට, පරිණාමීය ජීව විද්‍යාඥ ගැරට් හාඩින්, ‘පොදු ජනතාවගේ ඛේදවාචකය’ නමින් පත්‍රිකාවක් ලිවීය. අධික ජනගහණයේ අහිතකර බලපෑම් විස්තර කිරීමේදී හාඩින් බැටළුවන්ට ආහාරයට තෘණ ලබාදෙන භූමිය පිළිබඳ උදාහරණයක් භාවිත කළේය. තම ආත්මාර්ථකාමීත්වය වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයන්, තණබිම් හෝ ධීවර කර්මාන්තයක් වැනි බෙදාගත් සම්පතක් අධික ලෙස සූරාකෑම, දිගු කාලීනව සෑම කෙනකුටම හානිකර වන බවත්, එහි ක්ෂයවීමට සහ අවසානයේ විනාශයට හේතුවන තත්වයක් ගැනත් ඔහු සඳහන් කළේය; මූලික වශයෙන්, නියාමනයකින් තොරව පොදු සම්පතක් භාවිත කිරීමේ නිදහස සියලු පරිශීලකයන්ට ලබාදීම එහි විනාශයට හේතු විය හැකිය. ලෝකය එම දිශාවට ගමන්කරන බව පෙනේ. මෙම තත්වයන් යටතේ, සියලු දෙනාගේ යහපැවැත්ම සොයන අයගේ කාර්යය ශක්තිමත් කළයුතු අතර, එම උත්සාහයන් යටපත් නොකළ යුතුය.

Related Posts