කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ

Spread the love

වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව එජාපයට යළි ආණ්ඩුවක් ගැනීම සැබැවින්ම සිහිනයක්ම විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා අග්‍රමාත්‍යධුරයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය දැක්වීමට එක්වෙමින් සිටියහ.

එක්සත් ජාතික පක්ෂයට රිංගා ගෙන එය තම අණසකට ගෙන බූදලය කර ගැනීමට වෙරදරන කයිවාරුකාර විදී සටන් කරුවෝ ගැලරිය පිනවමින් එක්සත් ජාතික පාක්ෂිකයින් තම ග්‍රහණයට ගැනීමට කුමන්ත්‍රණය කළෝය. එසේම එජාප ආණ්ඩුව ගෙදර යැවීමට ජනපති මෛත්‍රීට වක්‍රාකාරයෙන් ඉන්ධන සැපයූ මංගල, මලික් වැන්නවුන් වහාම තිරය පිටුපසට වී හැංගුනේ, පාක්ෂිකයින්ගෙන් ගුටිනොකා බෙරීමට බව එජාප පාක්ෂිකයින්ම දන්නා සත්‍යයයි. ඉන් මොහා ඔවුන් මහින්දගෙන් ආණ්ඩුබලය උදුරාගෙන යළි එජාප ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් කළ දෙයක් නොමැති බව ඒ මොහොතේ එජාපයේ අභ්‍යන්තර දේශපාලන ක්‍රියාවලියේ සිටි අයවලුන් දන්නා කරුණකි. ඔවුන් සිදුකළ එකම රාජකාරීය වූයේ අරලිය ගහ මන්දිරයට වී ගැලරියට පොර ටෝක් දීම පමණි. දවල් වරුවේ නායක රනිල්ට පන්දම අල්ලමින් සිට රාත්‍රියේ මහපාරේ ඉටිපන්දම් අල්ලා සිටීමය.

එහෙත් ඒ මොහොතේ මහින්ද සරණ ගිය සහ යන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් යළි තම පක්ෂය වෙත ගෙන එමින් රනිල්ගේ අගමැතිකමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සිහිනයක් නොව යථාර්තයක් කළ තිරය පිටුපස සිටි එජාපයේ දැවැන්තම චරිතය නොහොත් එහි සැඟවුණු ඩීල්කරුවා රවී කරුණානායකය. ඔහුගේ පැවති සහ පවතින දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපටද බොහෝ විවේචන ඇත. එහෙත් මහින්දට ආණ්ඩු හදා යළි දශක දෙකකින් මෙහා පෙනෙන තෙක් මානයකින් එජාප ආණ්ඩුවක් බිහි නොවන්නට තිබූ ඉඩකඩ විනාශකොට දින 50 ක් තුළ යළි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගොඩනැඟීම වෙනුවෙන් පුරෝගාමී කර්ත්‍යවයක් සිදුකරන ලද්දේ රවී කරුණානායක බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වඩා මෛත්‍රී-මහින්ද ඇතුළු විරුද්ධ පක්ෂය දනී. මහින්දගේ ආණ්ඩුවට සහය දෙමින් එක්වූ වඩිවේල් සුරේෂ්, වසන්ත සේනානායක යන මන්ත්‍රීවරුන් යළි එජාපයටත්, ඉන් නොනැවතී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මනූෂ නානයක්කාර, පියසේන ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් එජාපයටත් ගනිමින් පරාජය පෙනී පෙනී සිහිනයක් වෙනුවෙන් තිබුණු එජාප ආණ්ඩුවක් යළි ස්ථාපනය කිරීමට කොට ඇද්දේ රවී කරුණානායක විසින් බව අදවන විට ප්‍රසිද්ධ රහසකි.

මීට පෙර මහ බැංකු බැඳුම්කර කොල්ලයට පක්ෂය සහ පක්ෂ නායකයා වෙනුවෙන් රවී කරුණානායකට තම ඇමතිකම පවා අහිමිකර ගනිමින් පක්ෂය වෙනුවෙන් බෙල්ල තැබීමට සිදුවිය. එහෙත් එදා සිට ඔහුට විරුද්ධ පක්ෂයෙන් එල්ලවන ප්‍රහාරයන්ට වඩා දැඩි ප්‍රහාර සහ කැපිලි තම පක්ෂයෙන් එල්ල වූ බව ඉතා පැහැදිලිව පෙන්නට තිබුණි. එය එම පක්ෂයේ හෝ රවීගේ අවාසනාව දැයි අපි නොදනිමු.

එහෙත් රවීට තම පක්ෂයේ නායකයා වන රනිල්ගෙන් එල්ලවන සෘජු නොසලකා හැරීමට ප්‍රධාන යථාර්තවාදී සාක්ෂියක් ලබාදුන්නේ ගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශයකිනි. ඒ රනිල් ජීවත්වන්නේ, “සමනළ රෑනක් සමඟ සමනළ ලෝකයක” බවය. එහෙත් මාගේ කියවීම වන්නේ “රනිල් ජීවත් වන්නේ සමනළ ලෝකයක් තරම්වත් සුන්දර නොවූ කොටලුවන්ගේ ලෝකයක” බවයි. කොටලුවන්ට යළි පරපුරක් තැනීමට බැරිවා සේම, මතු අනාගත පරපුරක් ගැන අදහසක් වත් නොමැති සත්ව කොට්ඨාශයකි. රනිල් සහ රනිල්වටා සිටින පිරිසද එවැනිම කොට්ඨාශයකි.

මහින්දගේ ආණ්ඩුව ඉදිරියට යා නොදී දින 45 කින් වැට්ටවීමට, බැසිල්ගේ ඩීල් පරදවමින් ඩීල් ගැසූ රවීට පොරොන්දු වූ මුදල් ඇමතිකම ලබානොදීම තුල රවී කරුණානායක මේ වන විට දැඩි කලකිරීමකට පත්ව ඇති බව ඔහුගේම ප්‍රකාශවලින් පෙනී යයි. ඇත්තටම හරියට ගණන්වත් නැති මංගල සමරවීර වැන්නෙකුට මුදල් අමාත්‍යධුරය වැනි විෂයක් ලබාදෙනවාට වඩා රවීට හෝ වෙනත් අයෙකුට එය ලබාදීම එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීමට එහි නායක රනිල්ට අවංකව උවමනාවක් තිබේනම් කළ යුතුව තිබූබව සත්‍යයකි. එහෙත් සැමදා තමා ජාමේ බේරාගෙන සිටීම වෙනුවෙන්ම පමණන් අනුන්ගේ පහනින් එළිය බලා, පිනට කා සැප සොයනා රනිල් තමාගේ ගොටු ඉඹින කොටලුවන් හැර බර අදින අලින්ගෙන් වැඩක් නැත. එය රවී අකමැත්තෙන් වුවද තේරුම් ගත යුතු සත්‍යයයි.

කොටලුවන් රංවුවක් ඉදිරියේ තමා බර අදින බූරුවෙකු වීම හෝ නොවීම රවී මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රනිල් ප්‍රමුඛ රංචුවේ පැවැත්ම වෙනුවෙන් දර දිය අඳින කා හටත් හොඳ පාඩමක් වනු ඇත.

-හසිත මානන්දුව-

RSL

Related Posts