දෙමළ සන්ධානයට පක්කිලි කම් කරන්න ගිය එජාපයේ තවත් නඩයක් ඇනගෙන එති!

Spread the love

රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධුරයත්, තමන්ගේ ඇමතිකම් ටිකත් රැකගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට පක්ෂයත්, ආණ්ඩු බලයත් උකස් කොට ප්‍රාණ ඇපයට ලක්වූ එජාප මැති ඇමතිවරුන් මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ වහලුන් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් හෝ පාක්ෂිකයින් අකමැති වුවත් දෙමළ ජාතික සන්ධානයේ ඕනෑ එපාකම් ඉටුකිරීම වෙනුවෙන් එජාපයට රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව හිසේ තබාගෙන පන්සල් ගානේ වදින්නට සිදුව තිබේ.

මේ සඳහා දෙමළ සන්ධානයේ සුමන්තිරන්ගේ නියෝගය වලට යටත්ව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් දින දෙක තුනකට වරක් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව හිසේ ගසා මහනායක හිමිවරුන් හමුවීමට එජාපයේ කණ්ඩායම් පිටත් කර හරිමින් සිටින අතර එහි තවත් එක් කණ්ඩායමක් ඊයේ(18) පිටත් කර තිබුණි.

පාර්ලිමේන්තුවේ සභානායක, උඩරට උරුමය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති රංජිත් මද්දුමබණ්‌ඩාර, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ, නාගරික සංවර්ධන හා ජලාපවහන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්‌ඩාර, මයන්ත දිසානායක යන මැති ඇමතිවරුන් මෙම නඩයට ඇතුලත්ව තිබුණි.

නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම මේ මොහොතේ යෝග්‍ය නොවන බවත්, එබැවින් ඉදිරියට ඇති කාලසීමාවේදී ව්‍යවස්‌ථා සංශෝධන පසෙක තබා ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් සොයා බලා ජනතාවට සහන ලබා දීමට කටයුතු කිරීම යෝග්‍ය බවත්, මැතිවරණයකට පසුව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යනම් කරගන්නා ලෙසත් මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

ඉන් අනතුරුව මෙම නඩය අස්‌ගිරි මහ විහාරයට ගොස්‌ එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක ඇති අතර උන්වහන්සේද එජාප-දෙමළ සන්ධාන ෆෙඩරල් ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ නියමිත කාලයත් එක්මවා ඇති මැතිවරණය පවත්වා ජනමතය උරගා බලන ලෙසයි.

අවසානයේ යළිත් ඇනගත් මෙම නඩය “ඕන ගොනෙකුට පුළුවන් යුද්ධ කරන්න” කී එජාප අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලේගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා ඇත.

RSL

Related Posts