අහෝ! උඩුවේ නොදුටු මොක්පුර…

Spread the love

uduwe 2

මැදින් පොහොය දිනයක මෙවන් සටහනක් ලියන්නට සිදු වීම සංවේගයට කාරණයකි. නමුත් ජනතාවාදී මාධ්‍ය කලාවක් නියෝජනය කරන අප මෙය නොලියා සිටියහොත් එය ආත්ම වංචනිකත්වයකි.

උඩුවේ ධම්මාලෝක චීවරධාරියාගේ තරම දැන් මුළු රට ම දැනගෙන හමාර ය. පසුගිය කාලයේ සිදුකරන ලද තිරශ්චීන ම ජාවාරම්වලින් එකක් වූ කුඩා අලි පැටවු ජාවාරමට උඩුවේ ධම්මාලෝක සම්බන්ධ බව රට ම දන්නා කරුණකි. එය එසේ නොවෙතියි කියන්නට චේතිය රජුගේ පන්නයේ බොරු ඇද බෑවේ කටේ තොලේ නොගෑවෙමිනි. කෙසේ නමුත්, පොදු දේපළ පනත යටතේ මේ චීවරධාරියාට ඇප දෙන්නට බැරි බව කියූ අධිකරණය ම එක විට ම ඉහළින් පාත් වූ අසාද් සාලිලාගේ නීතිඥ කණ්ඩායමේ කරුණු දැක්වීමට එකඟ වෙමින් ඇප ලබා දුන්නේ ය.

දැන් නාටකය වෙනත් විදිහකින් කරළියට පැමිණ තිබේ. අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන කතා කරන්නට මේ උන්නාන්සේ පටන්ගෙන ඇත්තේ කාගේ වුවමනාවට දැ යි තව ම දැනගන්නට කාලය පැමිණ නැත. නමුත් මෙවැනි ම සිදුවීමක් සිදු වූ ඉතිහාසයේ තවත් එක් කුප්‍රකට අවස්ථාවක් මෙරට ජනතාවට මතක් කරන්නට අප කැමැති ය.

ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම මෙරට බොහෝ දුස්සීල, අබබ්බ, බුඩ්ඩ පබ්බජිත මහනුන්ට ජීවිකාවන් විවර කර දුන්නේ ය. සමහරු සෝම හිමියන්ගේ දේහය උඩින් ධර්ම රාජ්‍යයකට පාර කපා ගෙන එම පාර පාර්ලිමේන්තුවෙන් කෙළවර කළෝ ය.

උඩුවේ ධම්මාලෝක නමින් මෙහි දී මතු වූ චීවරධාරියා ද මේ වකවානුව තමන්ට මතු වීමට සරු පසක් කරගත් අයෙකි. සෝම හාමුදුරුවන් වැනි සියක් නමක් නිර්මාණය කරන බවට පුරාජේරු දොඩමින් පටන්ගත් ව්‍යාපෘතියෙන් බොහෝ හරි හම්බකරගත් බව අපට අමතක නැත. සියක් නමක් කෙසේ වෙතත්, මිරිසවැටිය අබියස දී පස්නමක් මහණ කරනු ලැබුවේ ව්‍යාපෘතිය ප්‍රචාරය කර ගැනීමට ය. බුදුන් වහන්සේද පස්වග තවුසන්ගෙන් පටන්ගත් බව කියමින් එතැන සී.ඩී සහ කැසට් පට විකුණමින් ද ජාවාරම සරු කරගත්තේ ය. සෝම හාමුදුරුවන්ගේ මව සමඟ කුලුපඟ වෙමින් ඇය විකුණා තවත් මුදල් සරි කරගත්තේ ය.

දිවයින දැන් උඩ පැනගෙන උඩුවේ උඩට උස්සන්නේ කුමන උවමනාවක් මත දැ යි නුදුරේ දී ම හෙළිවනු ඇත!

RSL

Related Posts