“මෛත්‍රී ඇත්තටම හරිද..?”

Spread the love

දිවයිනේ ප්‍රදේශ ගණනාවක “පොඩි මිනිසුන්ගේ පන්තිය” නැමැති සංවිධානාත්මක කණ්ඩායමක් විසින් “මෛත්‍රී හරි” නමින් අද(05) පොස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙනු දක්නට ලැබිණ. කොළඹ තදාසන්න නගරවල විවිධ තේමා යටතේ අලවා තිබුණු මෙම පෝස්ටර් මඟින් ජනාධිපතිවරයා ඉලක්ක කරගත් බවක් පෙනෙන්නට තිබේ. “හොරකම් නොකරපු, උරුමය ගරු කරපු, නරකම තැන්වල හොඳම දේ කරපු, අත්වල ලේ නැති” මෛත්‍රී හරි වශයෙන් පවසා තිබිණ.

මෙම “පොඩි මිනිසුන්ගේ පන්තිය” පවසන පරිදි “හොරකම් නොකරපු මෛත්‍රී හරි” වුවද, මහ බැංකුව හොරා කෑමට රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත අර්ජුන් මහේන්ද්‍රන්ට පත්වීම ලබාදුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වන අතර අද එම කොල්ලය සම්බන්ධයෙන් දස අතේ වද වන මෛත්‍රී හරිද..? කියා අප විසින් ඇසිය යුතුය.

අනෙක් කරුණ නම්, මෛත්‍රී උරුමයට ගරු කෙරූ මෛත්‍රී හරී නම් විල්පත්තු මහා වනාන්තරය කැපූ කුප්‍රකට රිෂාඩ් බදුර්දීන් නම් ඇමතිවරයා තවමත් යහතින් සිටින්නේ කෙසේද යන්නයි.

කෙසේ වෙතත්, අත්වල ලේ නැති මෛත්‍රී නම් හරි පමණක් සත්‍යවශයෙන්ම අප ඊට ඔහුට අපගේ ප්‍රණාමය පුදකළ යුතුමය. මක් නිසාද යත් මෙතෙක් ශ්‍රී ලංකාවේ පහළ සෑම ජනාධිපතිවරයෙකුම තමාට එරෙහිව විවේචනය කරන මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ට උරුම කර දුන්නේ සුදුවෑන්, මහමඟ මරණය හෝ අතුරුදහන් වීම් පමණි. පසුගිය සමයේ රාජ්‍ය නායකයා නොව ආරක්ෂක ලේකම්වරයා වී ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවේදීන්ගේ පමණක් නොව ඔහුට එරෙහිව හඬ නැගූ මිනිසුන් සහ දේශපාලනඥයින්ගේ අතපය කඩාදැමීම, අතුරුදහන් කිරීම, මිනීමැරීමෙන් නොනැවතී, එල්ලා මරා දැමීමට ගියේය. එවැනි අතිශය බිහිසුණු සමයකින් පසුව බලයට පැමිණ ජනාධිපතිවරයා වූ මෛත්‍රී තමාට එරෙහිව තම ඡායාරූපය පවා වික්‍රතෘ කරමින් වෙබ් සහ සමාජජාල වල මඩ ගැසූ මඩ ලියූ කිසිවෙක් අතුරුදහන් කළේ හෝ පහරදී මරා දැම්මේ නැත. අවම තරමින් මරණ බියක් වත් ඇති කළේ නැත. අප සෑම කෙනෙකුටම වටිනාම දෙය අපගේ ජීවිතයයි. මෛත්‍රී එය කිසිවෙකුගෙන් උදුරාගත්තේ හෝ එසේ උදුරාගෙන විනාශ කිරීමට සිතුවේවත් නැත. එම නිසා මාධ්‍යවේදීන් ලෙසත්, රටේ සාමාන්‍ය පුරවැසියන් ලෙසත් අප “අත්වල ලේ නැති” මෛත්‍රීට ගෞරව කරමු.

එසේම මෙම “පොඩි මිනිස්සුන්ගේ පන්තියේ” තවත් පෝස්ටරයක සඳහන් තිබුණේ, 225 වෙනුවට මිලියන 21 ගැන සිතූ මෛත්‍රී හරි කියාය. එයද බොහෝ දුරට හරි බව අපට පිළිගත හැකිවන්නේ මෛත්‍රී පසුගිය කෙටි කාල සීමාව තුළ තමාගේ බලය සහ ආරක්ෂාව ගැන නොසිතා සිදුකළ තනි මිනිසෙකුගේ විප්ලවය නිසාය. මෛත්‍රී ජනාධිපති වූ විගසම තමා පොරොන්දු වූ පරිදි තමාගේ ජනාධිපතිධුරයේ ඇති වරප්‍රසාද පමණක් නොව පාර්ලිමේන්තුවේ 225 වරප්‍රසාදද බොහෝ සෙයින් කප්පාදු කළේය. ඒ ඔවුන්ට සැප දී තම බලය සුවසේ විදීමට ඇති අවස්ථාවෙන් මිදී ඒ ධනය රටේ මිලියන 21 ක්වූ ජනතාව වෙනුවෙන් ලබාදීම වෙනුවෙනි. මේ නිසාම බොහෝ කලකට පසු ආණ්ඩු බලයක් ලද එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පවා පසුවූයේ කනස්සල්ලෙනි. එසේම අදටත් මෛත්‍රී දැඩි ලෙස තැවෙන්නේ තමා ජනාධිපතිකම දරද්දී අගමැති රනිල් ප්‍රමුඛ එජාප විසින් සැලසුම් සහගතව සිදුකළ මහ බැංකු මංකොල්ලය ගැනය. මෙම මහ බැංකු මංකොල්ලයට එරෙහිව ජනපති මෛත්‍රී නොනැවතී සටන් කළ නිසාම එජාපය ඔහුට දෙවන වර ජනාධිපතිධුරයට පත්වීම සඳහා වන සහයෝගය ලබානොදීමට තීරණය කළා පමණක් නොව උඩින් සහ යටින් පහර ගැසීමද ඇරඹීය. තමා බලයට ගෙන ඒමට ඡන්දය ලබාදුන් එක්සත් ජාතික පක්ෂිකයින් පවා ඔහු සමඟ අමනාප විය.

එහෙත් අදටත් මෛත්‍රී නොසැලී, නොබියව සටන් කරන්නේ කිසිඳු පක්ෂයක, පාක්ෂිකයෙකු වෙනුවෙන් හෝ නොව මේ රටේම මිලියන 21 ක්වූ බහුතර පොඩි පන්තියේ ජනතාව වෙනුවෙමි. සියලු දේශපාලන නායකයින් මේ වන විට 2020 ජනාධිපති කිරුල සොයා යද්දී, ජනපති මෛත්‍රී මේ රටේ ත්‍රස්තවාදයට එහා ගොස් සැඟවුණු කුඩු ත්‍රස්තවාදයට එරෙහිව නොපැකිලිව සටන් කරන්නේ බලය තම අතට ගත් කෙටි කලක් තුල සිදුකළ විප්ලවීය වෙනස් කම් සමඟිනි.

RSL

Related Posts