පැය 2කට මංතීරු නීතියෙන් නඩු 582ක් හොයයි; පළමු දඩය 2000 යි

Spread the love

කොළඹ නගරයේ සිදුකල විශේෂ රථවාහන මෙහෙයුමක දී මංතීරු නීතිය උල්ලංඝනය කල රියදුරන් 582 කට නඩු පවරා තිබේ.

ඊයේ(11) සවස පැය 2 ක කාලයක් පුරා කොළඹ නාගරික රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(12) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 495 යොදවා ඇති අතර, සී.සී.ටීවි දර්ශන හා පොලිස් වාහනවල ඇති සී.සී.ටීවි දර්ශන මෙන්ම සිවිල් පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණය මත මෙම නඩු පවරා තිබේ.

පසුගිය 10 වන දා සිට මංතීරු නීතිය දිවයින පුරා සෑම නගරයකම ක්‍රියාත්මක කර ඇති අතර, එයට අනුගත වීමට රියදුරන්ට සති 2 ක් ලබා දීලා තිබුණු බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා, මේ කාලයේ දී දිවයින පුරා දැනුවත් කිරිමේ වැඩමුළු පැවැත් වු අතර, එහිදී රියදුරන් හා පැදිකරුවන් දැනුවත් කරන්න වැඩටහන් 2352 ක් පැවැත්වා ඇති බව ද පැවසීය.

රියදුරන් හා පැදිකරුවන් 54709 ක ප්‍රමාණයක් දැනුවත් කර ඇති බවත් මංතීරු නීතියට අදාළව පොලිස් නිලධාරීන් 7083 දැන්වත් කර ඇති බවද වැඩිදුරටත් රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරුන්ට රුපියල් 2000ක දඩ මුදලක් නියම කරන අතර, එය දින 14 කින් ගෙවා දැමිය හැකි බවත්, එසේ නොමැති වුවහොත් දින 28 කින් දඩ මුදල මෙන් දෙගුණයක් ගෙවීමට සිදු වනු ඇත.

දඩ නොගෙවීමෙන් හෝ අධිකරණයේ දී වැරදිකරු වුවහොත් පළමු වතාවට රුපියල් 2000-2500 ක මුදලක් ද, දෙවන වතාවට වැරදිකරු වුවහොත් රුපියල් 3500-10000 ක මුදලක් හෝ තුන්වන වරට වරදකරු වුවහොත් 10000-25000 ක මුදලක් ගෙවීමට සිදුවන බව ද රුවන් ගුණසේකර මහතා පැවසීය.