තිස්ස අදත් ඇවිත් යයි; අගමැති-ජනාධිපති අධිකරණය මඟ හරිනවාද..?
- RSL
- February 26, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Tissa Aththanayake
- 0 Comments
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාවය කඩා කප්පල් කිරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටින තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් වන ජනාධිපතිවරයා හා අගමැතිවරයා රාජකාරිමය හේතුවක් මත අද(26) දින අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් නැවතත් සිතාසි නිකුත් කිරීමට මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුවාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා විසින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිනි ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ සාක්ෂිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජකාරිමය හේතුන් මත අද දින අධිකරණය වෙත පැමිණිමට අපහසු බවත් ඔවුන්ට වෙනත් දිනයක් ලබා දෙන ලෙසත්ය
එහිදී සාක්ෂිකරුවන් දිගින් දිගටම අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා විත්තිකරුට අගතියක් සිදුවන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහුට දිගටම විත්තිකරුවෙකු විය නොහැකි බව ද කියා සිටියේය.
එම නිසා මෙම නඩුව ජුනි මස 24 වන දින නඩුව කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදිනට යළි අධිකරණය වෙත පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර සිටියේය.
පසුගිය ජනාධිපතිවරණයේ දී කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතින් අතර සුහදතාවය බිඳ දැමීමට තුඩු දුන් කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් තිස්ස අත්තනායක මහතාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ මෙම නඩුව ගොණු කර තිබුණි.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු මුදා හැරි විනිසුරුවරයා යළි සිතාසියක් ලැබූ විට පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කර සිටියේය.

