මේ මොංගල් ආණ්ඩුවට තීන්දු තීරණ ගන්න හරි නායකයෙක් නැහැ

Spread the love

මහින්ද මහත්තයාට තුන්වැනි පාර ඉල්ලන්න පුළුවන් කියන කාරණාව මුල් කරගෙන දේශපාලන කරළිය මේ දිනවල උණුසුම් වෙලා තියෙන්නේ. නමුත් රටේ ව්‍යවස්ථාව අනුව මහින්ද මහත්තයාට තුන්වැනි පාර ඉල්ලන්න බැහැ. ඒකයි ඇත්ත. ඇත්ත වහලා ඒකාබද්ධය මොකක්ද මේ කරන්නේ?

2015 මෛත්‍රි-රනිල් ආණ්ඩුවක් පිහිටුවලා එයාලා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන එක. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළේ රටේ සුබසිද්ධිය සඳහා නොවේ. මේක කළේ රාජපක්ෂ භීතිකාව නිසා නැවත රාජපක්ෂ කෙනකුට රටේ බලයට එන්න නොදී ඊට අවශ්‍ය පසුබිමයි හැදුවේ. හැබැයි ඒකට ඉස්සරහට ගෙනාවේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනවා කියා. රටේ ජනතාවට පෙන්නුවෙත් ඒකයි. නමුත් අවසානයට වුණේ රාජපක්ෂලාට ඡන්දයට එන්න බැරි එක විතරයි. අද ආපස්සට හැරිලා බැලුවොත් මේ ස්වාධීන කොමිෂන් සභාවලට නිලධාරීන් පත්කරන්නේ අගමැතිවරයා, විපක්ෂ නායකවරයා හා ආණ්ඩුවේ කණ්ඩායම එකතුවෙලයි. විපක්ෂ නායක විපක්ෂයේ සංවිධායකයත්, අගමැති සහ ජනාධිපතිත් ආණ්ඩුවේ කොටස්කරුවෝ. එනිසා කොමිෂන් සභා ස්වාධීන නැහැ. මේ නිසයි ස්වාධීනව මැතිවරණ කොමිසමට කටයුතු කරන්න බැරිවෙලා තියෙන්නේ. 19 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බොරුවක්. ආණ්ඩුව කළේ නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩක්.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පැහැදිලිව කියනවා ජනාධිපති ධුරය දරපු අයකුට තුන්වැනි පාර ඉදිරිපත් වෙන්න බැහැ කියලා. ඒක හැමෝටම පොදුයි. රාජපක්ෂලා ඉලක්ක කරගෙන ඒක කරනවා කියන්නේ කොහොමද?

19 ගෙනාවේ ඒකට. දැන් නීති විශාරදවරුන්ගේ මතයක් තියෙනවා ආපස්සට බලපාන පරිදි නීතියක් ගේන්න පුළුවන්ද කියලා. ඒ නීතිය ගෙන එන්නේ තනි පුද්ගලයකු හෝ කිහිපදෙනකු ඉලක්ක කර. ගේන්න පුළුවන්ද? ඒ තුළින් ඒ අයගේ මානව හිමිකම් කඩවීමක් වෙනවද කියන එකයි අද සාකච්ඡාවට බඳුන් වෙන්නේ. මේ පිළිබඳ ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව ගන්න බලාපොරොත්තු ඇතිව තමයි ඒ නීතියත් එක්ක සාධාරණයක් ඉටු කරන්න කටයුතු කරන්නේ. එනිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නැවැත ඉල්ලන්න කියා මතයක් එන්නේ. මේක එතුමා කියපු දෙයක් නෙවෙයි. නීති විශාරදයන් තමයි මේ කාරණාව කිව්වේ.

19 ආණ්ඩුවට ඕන විදියට සංශෝධනය කළේ නැහැ. ඔබතුමාලගේ අයත් ඊට සහාය දුන්නා
ඒ වෙනකොට මම පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ.

ඔබතුමා නැතිවට අනෙක් අය සහාය දුන්නනේ?

කතාව ඇත්ත. මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ඇවිත් ශ්‍රීලනිපයේ බලය ඔහු බලෙන් අරගෙන ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමට කිව්වේ 20 ගෙනාවා කියලා. 19ට සහාය ගත්තා. ඒ වෙලාවෙදි ශ්‍රීලනිපය 19ට සහාය දුන්නා. මේ වෙලාවේ ඡන්දය නොදුන්න එකම කෙනා එදා කොන්දක් තිබ්බ එකම කෙනා සරත් වීරසේකර විතරයි.

ඒ කියන්නේ අනෙක් අයට කොන්දක් නැද්ද?

එදා ඡන්දය දීපු එකේ පල විපාක අද විඳින එකෙන් ඒක පේනවා. එදා පාර්ලිමේන්තුවේ හිටපු අය, මහින්ද මහත්තයා එක්ක හිටපු අය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සලා මේ දේ කළා. අපට බහුතර බලයක් තියාගෙන ඒක ලබාදෙන්න කටයුතු කළ එක වැරැදියි.

මහින්ද මහත්තයාට තුන්වැනි පාර ඉල්ලන්න පුළුවන් කියා බලාගෙන හිටියත් 19 වැනි සංශෝධනයේ සඳහන් ආකාරයට ඉල්ලන්න බැහැ කීවොත් මොකද වෙන්නේ?

මම මේ කතා කළේ නීති විශාරදයෝ කියන දේවල්. ඔවුන්ගේ මතයයි. මම කිව්වේ මේ කාරණාව ශේ්‍රෂ්ඨාධිකරණයට ගියාම ඔය මතයම වෙන්නත් පුළුවන්. වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියටත් ආපහු ඉල්ලන්න පුළුවන්.

මේ කාරණාව එළියට එන්නේ කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා හරහා. නීති විශාරදයන්ට මේ ගැන දෙන්න ඉස්සර වෙල්ගම මන්ත්‍රිවරයා හරහා මේ දේවල් කලඑළි බැස්සාද?

නැහැ. නීති විශාරදයෝ කියපු දේවල් තමයි කුමාර වෙල්ගම කිව්වේ. අපි මේ වැඩේ සාකච්ඡා මට්ටමේ තියෙනකොට ඒ සාකච්ඡාවේදී ගත්ත තොරතුරක් පදනම් කරගෙන තමයි කුමාර වෙල්ගම මහතා ඒ ප්‍රකාශය කරන්න ඇත්තේ.

මහින්ද මහත්තයාට තුන්වැනි පාර ඉල්ලන්න පුළුවන් කියා කියන නීති විශාරදයන්ගේ මොළය පරීක්ෂා කළ යුතුයි කියා නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා කියනවා. එහෙම බලනකොට ඒකාබද්ධයේ නීති විශාරදයන්ගේ මොළයේ අවුලක් තියෙනවද?

මම නීති විශාරදයෙක් නෙවෙයි. අජිත් පෙරේරා නීතිඥයෙක්. එතුමා ගොඩ පෙරකදෝරුවෙක් හරිනේ. එනිසා එතුමාට මට වඩා නීතිය ගැන අවබෝධයක් ඇතැයි කියා මම විශ්වාස කරනවා. එනිසා මම එයත් එක්ක අභියෝග කරන්න යන්නේ නැහැ. හැබැයි ඔවුන්ට රාජපක්ෂ භීතිකාව තියෙනවා. එනිසා එයාලා බයයි රාජපක්ෂ කෙනෙක් නැවත කරළියට එයි කියා. මොකද එතකොට ඔවුන්ගේ පැවැත්මට ප්‍රශ්නයක්. ඒකයි මේ හැම විරෝධයක්ම.

ඒකාබද්ධයට ජනාධිපති අපේක්ෂකයෙක් තෝරා ගන්න බැරිව ඒ පීඩනය වහගන්න එක එක නීති තර්ක ගෙන එන බවටත් ආණ්ඩුව චෝදනා කරනවා. මේ ගැන මොකද කියන්නේ?

අපේ ස්ථාවරය අපි පැහැදිලිව කියා තිබෙනවා. මහින්ද මහත්තයාට ඉල්ලන්න බැරි නම් එතුමා නම් කරන, එතුමාගේ නායකත්වයට ගරු කරන කෙනෙක් මේකේ නායකත්වයට ගේන්න ඕන කියන එක. මොකද යුද්ධය නිම කරලා රටට සාමය ගේන්න පුළුවන් වුණේ මහින්ද මහත්තයාට විතරයි. එතුමා රට භාර ගන්නකොට යුද්ධයෙන් රට විනාශ වෙලා, සුනාමියෙන් රට විනාශ වෙලා, ලෝක ආහාර හිඟයක් එනවා කියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අර්බුදයක හිටපු අවස්ථාවකයි එතුමා රට භාරගත්තේ. එතුමා මේ දැන් ඉන්න නායකයෝ වගේ නහයෙන් අඬ අඬා හිටියේ නැහැ. එදා ලංකාවේ තිබුණේ සෘණ ආර්ථිකයක්.

හැබැයි ඒ වන විට රටේ ආර්ථිකය කඩා වැටිලා තිබුණේ නැහැ කියා තර්ක තිබෙනවාද?

චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව ඍණ ආර්ථිකයක් තිබ්බේ. එතුමිය ආර්ථිකය ධන කළේ සංඛ්‍යාලේඛන හරහා. එදා ප්‍රවාහන සේවාවක් හරියට තිබුණේ නැහැ. මිනිස්සු මරණ බයේ හිටියා. අපට පිටරටකට යන්න බැරිවුණා. රටේ නිෂ්පාදනයක් වුණේ නැහැ.

ඔබව දේශපාලනයට ගෙන ආවේ චන්ද්‍රිකා මැතිනිය. ඔබ ඒ කාලේ නියෝජනය කළ ආණ්ඩු පක්ෂය ආරම්භක තැනට නේද පහර ගහන්නේ?

මම රටේ නායකයන්ට ‍ෙදාස් කියනවා නෙවෙයි. යුද්ධයත් එක්ක රට කඩාගෙන වැටුණා. එහෙම වැටුණු රට ගොඩ අරගෙන යුද්ධය ඉවර කරලා වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග, ග්‍රාමීය මාර්ග, ධීවර වරාය ඇති කරලා රටේ පිබිදීමක් ඇති කළා. මුළු රටම එකම වැඩපොළක් කළා. රටේ ජනතාවට අලුත් බලාපොරොත්තු දුන්නා. නමුත් යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට බොරු කිව්වා නොමඟ යැව්වා. ඊට පස්සෙ ඡන්දය ගත්තා. එදා වැඩබිමක් වූ රට අද නිකම්ම නිකම් රටක් බවට පත්වෙලා. ඒක තේරුම්ගත්ත නිසා තමයි මේ රටේ ජනතාව අලුත් බලාපොරොත්තුවක් එක්ක පොහොට්ටුව වටා එකතු වෙන්නේ.

මහින්ද මහත්තයාට ඉල්ලන්න බැරි වුණොත් වෙන කවුද ඉල්ලන්නේ?

මම ඒක තමයි කියන්නේ. ඇයි අපි කලබල වෙන්නේ කියලා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විදේශයක ඉඳල ලංකාවට ඇවිත් මහ ඇමැති, අගමැති සහ ජනාධිපති වුණා. ඩී.බී. විජේතුංග මහත්තයා බලයට ආපු හැටි බලන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති වෙයි කියලා 2005 කවුරුවත් හිතුවේ නැහැ. ඔටුන්න හිමි කුමරා අනුර බණ්ඩාරනායක කියලයි හිතාගෙන හිටියේ. මෛත්‍රිපාල මහත්තයා කොහේද හිටියේ. නාම යෝජනා දෙන්න සතියකට ඉස්සර අරලියගහ මන්දිරයේදී මහින්ද මහත්තයාගේ ගෙදර කරඬුව ඔළුව උඩ තියාගෙන ගිය කෙනා. මේ රටේ නායකයෝ ක්ෂණිකව එනවා. ඇවිත් නායකත්වයට පත්වෙනවා. එනිසා මම විශ්වාස කරනවා කවුරු වුණත් අපි දැන්ම නම් කළ යුතු නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කරළියට ගෙනාවා කල් වැඩිද?

ඔව්. අපි පසුබිමයි හදලා තියන්න ඕන දේශපාලනඥයෝ හැටියට. අවශ්‍ය වෙලාවට නායකයෝ එයි. මහින්ද මහත්තයා හෝ මහින්ද මහත්තයා නම් කරන විශ්වාසවන්ත කෙනෙක් හරි විකල්පයක් හරි ගේන්න අපි ලෑස්තිවෙලා ඉන්න ඕන.

මහින්ද මහත්තයා විශ්වාස කරන කෙනා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාද? ඒ විශ්වාසයට ඔබ අකමැතියි නේද?

මට පෞද්ගලිකව කිසි කෙනෙක් ගැන විශ්වාසයක් නැහැ. මම 2015 ජනවාරි 8 එළියට බැස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන්. මම ගෝඨාභය රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ හෝ තවත් කෙනෙක් වෙනුවෙන් එළියට බැහැපු නෙමෙයි. මට ඕන නම් 2015 ජනවාරි 8 බුලත් අතක් අරගෙන මෛත්‍රි මහත්තයාව හමුවෙලා මහ ඇමැතිකමේ දිගටම ඉන්න තිබුණා. නමුත් කවුරුත් එළියට බැහැපු නැති වෙලාවේ මන්ත්‍රිවරු එළියට බහින්න බය වෙච්ච වෙලාවේ මගේ නිල නිවෙස තමයි මම දුන්නේ මහින්ද මහත්තයාගේ රැස්වීම් ටික කරන්න. මම ඒ අභියෝගය භාර ගත්තා. නුගේගොඩ රැස්වීමක ශ්‍රීලනිපයේ කෙනෙක් නඟින්න කෙනෙක් නැති වෙනකොට උදය ගම්මන්පිල, විමල් වීරවංශ මන්ත්‍රිතුමන්ලා මට කිව්වා අපට ශ්‍රීලනිප කෙනෙක් ඕන වේදිකාවට නඟින්න කියලා. නැත්නම් වැඩක් නැහැ කියලා. මම කිව්වා ඔබතුමන්ලා කිව්වත් නැතත් මම වේදිකාවට නඟිනවා මහින්ද මහත්තයා වෙනුවෙන් කියලා. මම එළියට බැස්සේ මහින්ද මහත්තයා වෙනුවෙන්. මට පුද්ගලවාදයක් නැහැ.

කොහොමත් ඔබ බැසිල්වාදියෙක් ලෙස ප්‍රසිද්ධයිනේ?

හැමෝටම එක එක දේවල් කියන්න පුළුවන්. මම මහ ඇමැති කාලේ මමයි බැසිල් මහත්තයයි අතර ප්‍රශ්න තිබුණා කියලා එදත් මාධ්‍යයෙන් වාර්තා කළා. එතුමා දිස්ත්‍රික් නායකයා. මම මහ ඇමැති. මට රාජකාරි බාධා එද්දි දේශපාලන ප්‍රශ්න අපි අතර තිබ්බා. එතුමා එක්ක විතරක් නෙමෙයි මට ගෝඨාභය මහත්තයා එක්කත් ප්‍රශ්න තිබ්බා. අපට ජනවාරි 8න් පස්සේ දේශපාලනය කරන්න පක්ෂයක් ඕන වුණා. ඒකාබද්ධ විපක්ෂය කියලා අපි කණ්ඩායමක් හදාගෙන මාධ්‍යයෙන් දේශපාලනය කරද්දී අපට දේශපාලනය කරන්න පක්ෂයක් ඕන වුණා. ඒ පක්ෂය හදන්න මූලිකත්වය ගත්තේ බැසිල් රාජපක්ෂ මහත්තයා. එතැනදි පක්ෂයට බලය අල්ලාගන්න මම පක්ෂය වෙනුවෙන් වැඩ කළා. ගෝඨාභය මහත්තයාගේ වියත් මඟඑළිය වැඩසටහනට වෘත්තිකයන් සම්බන්ධ කරගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳට සංවිධානය කරලා දුන්නා.

ගෝඨාද, බැසිල්ද කියලා ඒකාබද්ධය ඇතුළේ පිල් බෙදීමක් තියෙනවා නේද?

රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවෙන්න ගෝඨාභය මහත්තයා එයාගේ වැඩ කොටස කරනවා. බැසිල් මහත්තයා එයාගේ වැඩ කොටස කරනවා. අපි අපේ වැඩ කොටස කරනවා. අන්තිමට සියලුදෙනාම එකතු වෙනවා. අපේ කිසිම පිල් බෙදීමක් නැහැ. අපි අපේ මතය කියනවා. වාසුදේව මහත්තයා, වෙල්ගම මහත්තයා, මහින්දානන්ද මහත්තයා එයාලගේ මත ප්‍රකාශ කළා. එක එක මත මොනවා කිව්වත් අන්තිමට ඔක්කොම එක මතයකට එනවා. මම ඉන්නෙත් ඒ මතයේ. ඒ මතය තමයි මහින්ද මහත්තයා නම් කරන කෙනා කියලා. එතැනයි මේ අර්බුදය විසඳන්න පුළුවන්. මහින්ද මහත්තයා වෙලාවට ආප්ප න්‍යායෙන්ම අපේ මිනිහව දායි.

ඒකාබද්ධය පසුගිය කාල සීමාව තුළ ආණ්ඩු බලය අතට ගන්න, බලය අල්ලන්න විවිධ සැලසුම් ගැන කිව්වා. නමුත් ඒවායින් පලක් වුණේ නැහැ
ඒක හරි. අපි කරපු සමහර දේ සාර්ථක වුණා. යම් යම් දේ අසාර්ථක වුණා. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය තියෙනකොට මම හිටපු ස්ථාවරය තමයි අපි වෙනම ඡන්දය ඉල්ලන්න ඕන කියන එක. හැබැයි යම් කණ්ඩායමක් මහින්ද මහත්තයාට කිව්වා එකට ඉල්ලුවොත් අගමැති වෙන්න පුළුවන්. අපට බලය ගන්න පුළුවන්. ඔබතුමයි අපට එකතුවෙන්න කියලා. හැබැයි මම මෛත්‍රිපාල මහත්තයාව විශ්වාස කළේ නැහැ.

කවුද එකට ඉල්ලමු කියලා යෝජනා කළේ? මෛත්‍රි පිලෙන්ද? ඔබතුමාලගේ පැත්තෙන්ද?

මෛත්‍රි මහත්තයාගේ කණ්ඩායමක් ඇවිත් අපෙන් ඉල්ලීමක් කළා. ඊට පස්සෙ අපේ පක්ෂ නායකයෝ සාකච්ඡා කරලා ඒ ක්‍රමයට කැමැති වුණා. හැබැයි මම විරුද්ධ වුණා. නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ. එදා මහින්ද මහත්තයා වෙනම ඉල්ලුවා නම් අද අගමැති හරි විපක්ෂ නායක හරි වෙලා. ඒක අපට වැරදුණු තැනක්. අපි නොමඟ ගිය තැනක්, අපි අනුන්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න ගිහින්.

ඊළඟට පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ අපි ජාතික ආණ්ඩු හදන්න හැදුවා. මෛත්‍රි මහත්තයාගේ ගෙදරට අපිව කැඳවලා වල්පල් කතා කළා. එතැනදි මම කිව්වා ඔබතුමා අපිව කැඳෙව්වේ ඒකට නෙමෙයි ජාතික ආණ්ඩු හදනවද නැද්ද කියන්න කියලා. ඊට පස්සේ මම කිව්වා මට විපක්ෂයේ ඉන්නවා කිව්වට අපි එක්ක ගිය ඔක්කෝම විපක්ෂයේ ඉන්න ඕන කිව්වා. එතැනදි අපි සාර්ථකව කළ දෙයක් තමයි විපක්ෂයේ කාර්යභාරය කරන ගමන් ගෝල්ෆේස් පිට්ටනිය පුරවපු එක. ඒක අපි ලබපු ජයක්. ඊට පස්සේ පළාත් පාලන ඡන්දය දිනුවා. ඒක අපි ලබපු ජයක්. එතැනදිත් මම කිව්වේ අපි වෙනම ඉල්ලන්න ඕන කියලා.

සමහර නායකයෝ කිව්වා ඇයි වෙනම ඉල්ලන්නේ පරදිනවා නේද අපි කියලා. අපි දෙකට බෙදුණා. මම කිව්වා වෙනම ඉල්ලමු අපි දිනනවා. ඒක අපිට ලොකු හයියක් කියලා. ඊට පස්සේ මම කිව්වා කවුරු ඉල්ලුවේ නැතත් ගම්පහ වෙනම පොහොට්ටුවෙන් ඉල්ලනවා කියලා. අන්තිමට මගේ මතයට ගොඩක් අය කැමැති වුණා. පොහොට්ටුවෙන් ඉල්ලුවා. අපි දිනුවා.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ ප්‍රසන්න රණතුංග කියන්නෙ හැරවුම් ලක්ෂයක්ද?

ඔව්. මම ඒක කියනවා. මගේ මතය මම කියනකොට ඒකාබද්ධයේ බහුතරයක් මාත් එක්ක හිටියා. සමහරු විරුද්ධ වුණා.

ඒකාබද්ධය පෙබරවාරි 10 ජය අධිතක්සේරු කරලා. අසාර්ථක වුණ තැන් තියෙනවා. පරාජය වුණ තැන් තියෙනවා. පිළිගන්න කැමැතිද?

ඔව්. අගමැතිවරයාට ගෙන ආපු විශ්වාසභංගය ගේනකොට මම එපා කිව්වා. මම කිව්වේ තව ටිකක් යන්න අරින්න කියලා. එජාපය තුළ අර්බුදය වැඩිවෙන්න අරින්න කියලා.

ශ්‍රීලනිප – එජාප අර්බුදය වැඩිවෙන්න අරින්න කියලා. තව මාස පෝය දෙක තුනක් යනකොට ප්‍රශ්න උග්‍ර වුණාම විශ්වාසභංගය අපි නෙමෙයි ගේන්නේ එජාපය හරි ශ්‍රීලනිපය හරි කියලා.

විශ්වාසභංගය ගේන්න ඉක්මන් වුණේ ඇයි. ඒකාබද්ධයේ නායකයන්ට ඕක තේරෙන්නේ නැද්ද?

ඒකත් අනුන්ගේ න්‍යාය පත්‍රවලට ගිහින් කරපු දෙයක්.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල තමයි විශ්වාසභංගයට මුල් වුණේ. ඔබේ චෝදනාව ඔවුන්ටද?

අනුන්ගේ න්‍යාය පත්‍රයට ගිහින් කරපු දේවල් නිසා බෙදිලා හිටිය එජාපය එකතු වුණා. අකැමැත්තෙන් හරි රනිල්ට ඇතුළේ ඉන්න කණ්ඩායම සහාය දෙනවා. බෙදුණු එජාප, ශ්‍රීලනිපය එකතු වුණා. පළාත් පාලන ඡන්දය කාලේ මෛත්‍රි මොනවද නොකිව්වේ එජාපයට. පොදු හතුරා අපි කියලා දැනගත්තම දුර්වලයෝ ටික ඔක්කොම එකතු වුණා. අපේ නායකයන්ට ඕක නොතේරුණු එකයි ප්‍රශ්නේ. අනවශ්‍ය වෙලාවටයි විශ්වාසභංගය ගෙන ආවේ.

ඒකාබද්ධයට වැරැදුණේ එතැන විතරක් නෙවෙයි නේද?

නැහැ. විරෝධතාවයේදී අපි අපේ න්‍යාය පත්‍රයකට දුවන්න දැනගන්න ඕන. එතකොට අපිට ගමනක් යන්න පුළුවන්. පසුගිය කාලයේ විරෝධතාවක් තියන්න තිබුණා. උසස් පෙළ විභාගය නිසා ඒක කල් දැම්මා.

ඒකනේ අගෝස්තු 3 තිබ්බේ. පක්ෂ නායකයෝ විතරයි ආවේ. ඒකාබද්ධය කළ අසාර්ථක උද්ඝෝෂණය ඒක නෙවෙයිද?

අපි මුළු රටේම ජනතාව එතැනට ගේන්න ගියේ. නමුත් උසස් පෙළ විභාගය නිසා කල් ගියා. ඒත් ආණ්ඩුවට අවුරුදු තුනක් ගතවෙන කාලය නිසා කොළඹ දිස්ත්‍රික්ක කට්ටිය එකතුවෙලා කරමු කියලයි කළේ. ඒකට පක්ෂ නායකයෝ එනවා කිව්ව නිසා ගෙනාවා. මම එකඟ නොවුණත් රටේ අවශ්‍යතාව වෙනුවෙන් ඒක කළා.

ඒ වැඩේ අසාර්ථකයි කියලා ඔබ පිළිගන්නවද?

ඔව්. ඒ උද්ඝෝෂණය අසාර්ථකයි. ඕක ඔයිට වඩා හොඳට කරන්න තිබ්බා. සැප්තැම්බර් 5 වැනිදා අපේ වැඩේ සාර්ථක වෙනවා. ඒක හරියට සංවිධානය කරලයි කරන්න ඕන. අපේ සමහර දේවල් සාර්ථක වුණා. සමහර ඒවා අසාර්ථක වුණා. ඒ නිසා අපට තව වැඩි දවසක් නැහැ. අත්හදා බැලීම් නොකර හරියටම දේවල් හිතලා වැඩේ කරන්න ඕන. එතකොට මේ ආණ්ඩුව ගෙදර යවන්න අමාරු වෙන්නේ නැහැ.

ඒකාබද්ධය මීට කලින් කාගේ හරි ලණු කාලා වැඩේ අනාගත්තා වගේ ඉදිරි වැඩත් අනාගනියිද?

අපිට දුන්න ලණු කාලා අපිට. හොඳ අත්දැකීමක් ගත්තා. එනිසා දැන් අපි බොහොම පරිස්සමින් වැඩ කරන්න ඕන. මහින්ද මහත්තයා දැන් ඒ නායකත්වය අරන්. එතුමා ඒ තීන්දු දෙනවා. ඒ තීන්දු නිසා තමයි වෙනම පොහොට්ටුවෙන් ඉල්ලන්න පුළුවන් වුණේ. ඒ නිසා ආණ්ඩුවට එරෙහි සටන කළ යුත්තේ කොහොමද කියා මහින්ද මහත්තයා සැලසුම් කළා.

මහින්ද මහත්තයා නැත්නම් පොහොට්ටුවත් ඉවරයි නේද? එතැනින් පස්සේ පක්ෂයේ වගකීම ගන්න කෙනෙක් නෑනේ?

නායකයෙක් කියන්නේ කෙළින් තීන්දු තීරණ ගන්න පුළුවන් කෙනෙක්. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සාකච්ඡා කරනවා. අවසානයේදී ගන්නා වූ යෝජනා අදහස් කතා කරලා හරි තීන්දුව ගන්නවා. නමුත් මේ මොංගල් ආණ්ඩුවට තීන්දු තීරණ ගන්න හරි නායකයෙක් නැහැ.

16 දෙනාගේ කණ්ඩායම ගැන ඔබේ ප්‍රසාදයක් නැහැ නේද?

මේ ආණ්ඩුවේ 2/3 බලය නැති කරන්න නම් අපි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු එකතු කරගන්න ඕන කියන මතයේ මම ඉන්නවා. 16 දෙනා එනකොට මට ප්‍රශ්නයක් තිබ්බා. මේ 16න් 12ක් ඡන්දයට පෙර අපිත් එක්ක එන්න සාකච්ඡා කළා. එතැන හිටපු 3-4ක් එකඟ වෙලා ඒ වෙලාවේ ඔවුන් නැවැත්තුවා. ඔවුන් කිව්වේ අපි 10-12ක් ගිහින් වැඩක් නැහැ. අපි ලොකු බහුතරයක් යමු පළාත් පාලන ඡන්දයෙන් පස්සේ කිව්වා. මොකද ශ්‍රීල.නි.ප.යේ ලොකු විශ්වාසයක් තිබ්බා මැතිවරණයෙන් පස්සේ ලොකු ජයක් ඒ අයට ලැබෙයි කියලා. පොහොට්ටුව නැතිවෙයි කියලා. ප්‍රතිඵල ආවම ශ්‍රීල.නි.ප.යට යන එන මං නැති වුණා. මුලින් 12 දෙනා නවතපු අය කළේ කොන්ත්‍රාත් එකක්ද කියන සැකය තිබුණා.

කවුද ඒ අය?

මට නම් කියන්න බැහැ. එහෙම වුණොත් ඒක ඔවුන්ට අසාධාරණයක්?

ඒ අයමද දැන් ශ්‍රීල.නි.ප.යේ මධ්‍යම කාරක සභාවට රිංගන්නේ?

අන්න හරි. එතකොට අපට හිතාගන්න පුළුවන් මේ අය ආවේ සද්භාවයෙන්ද කියලා. මේ අයට එන්න බැහැ පෞද්ගලික ප්‍රශ්න, මූල්‍යමය අර්බුද, වෙන තනතුරු බලාපොරාත්තුවෙන් ඒ අය ඉන්නවා. ඒ සැකය උඩයි මම විරුද්ධ වුණේ.

16න් ආපු 12ට ඔබ කැමැතිද?

අද වෙනකොට 16 දෙනාම ඉන්නවා. කවුරුත් යනවා කියලා නැහැ. ඒ නිසා මම 16 දෙනාටම කැමැතියි.

ඒකද නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිතුමියට ඡන්දය නොදුන්නේ?

ඇයට මම විරුද්ධ වුණා.

හේතුව?

හේතුව වුණේ පළාත් පාලන මැතිවරණයේදී එතුමිය උදවු කළේ ශ්‍රීල.නි.ප.යට. ඡන්දයෙන් පස්සේ සීදුව කටුනායක නගර සභා බලය අපට ගන්න පුළුවන්කම තියෙද්දි එතුමිය ශ්‍රීල.නි.ප. මන්ත්‍රිවරුන් සම්බන්ධ කරලා එ.ජා.ප. සභාව පිහිටෙව්වා. මම ගම්පහ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන කෙනෙක් හැටියට කටාන ජනතාව එතුමියට විරුද්ධව කටයුතු කරද්දි මට එතුමියට ඡන්දය දෙන්න බැහැ. මම මහින්ද මහත්තයට ඒක කිව්වා. මම ඡන්දය දෙන්නේ නැහැ කිව්වා. මහින්ද මහත්තයා කිව්වා නම් නැහැ ප්‍රසන්න ඔයා ඡන්දය දෙන්න කියලා මම ඡන්දය දෙනවා.

මහින්ද මහත්තයා එහෙම කිව්වේ නෑනේ?

නැහැ. එතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ අපට ස්වාධීන තීන්දුවක් ගන්න ඉඩ දෙනවා කියලා එතුමිය ඉන්නවා නම් දිගටම අපි එක්ක මම එතුමියට සහාය දෙනවා.

එතුමිය දිගටම ඉන්නවා කියලා තියෙනවා.

මම දැන් එතුමියට සහාය දෙනවා.

දැන් තරහක් නැහැ?

දේශපාලනයේ සදාකාලික හතුරොත් නැහැ, මිතුරොත් නැහැ.

ඔබට බලපෑවේ මනාප ප්‍රශ්නයක් නෙවෙයිද ඔය ගැටලුව ආවේ ඒ නිසානේ?

මට මනාප ප්‍රශ්නයක් නැහැ. මට මනාපවලින් අභියෝග කරන්න කාටවත් බැහැ. මට වැඩිය මනාප ගත්තේ පසුගිය ඡන්දයේදී මහින්ද මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි විතරයි. ඒ දෙන්නාම පක්ෂ නායකයෝ. ජනතාව මට ඡන්දය දෙන්නේ මගේ දේශපාලන ස්ථාවරය නිසා. මම ඒක හැමදාම ආරක්ෂා කරනවා.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිතුමිය වෙනුවට වෙන කෙනෙක් ඉදිරිපත් නොකළේ ඇයි?

එතැනත් අපිව රවට්ටන්න හැදුවානේ. එතැනත් අපි වරද්දගත්ත තැනක්.

කවුද ඒ පාර රැවටුවේ ඔබලා?

මෛත්‍රිපාල සිරිසේන මහතා. එතුමා නම් කළා යාපනයේ දෙමළ මන්ත්‍රිවරයෙක් නියෝජ්‍ය කථානායකකමට. ඔහුට දෙමළ සන්ධානය විරුද්ධ වූ නිසා තමයි අලුත් නමක් ගේන්න සිද්ධ වුණේ. ඒ නම ගෙනාවේ එදා උදේ.

නියෝජ්‍ය කථානායක ඡන්දය තෝරන දවසේ උදේ තමයි ගෘෘප් මීටින් එකට දැම්මේ. අරකට අයින් කළාට නමක් තිබුණේ නැහැ නම් කරන්න. ශ්‍රීල.නි.ප.යේ ඉන්න ඔක්කොම ඇමැති ගොල්ලෝ, දාපු දෙමළ මිනිහට දෙමළ සන්ධානය කැමැති වුයේ නැහැ. ඒ මනුස්සයාට වඩා මෛත්‍රි මහත්තයට දෙමළ සන්ධානය වැදගත්. 16 දෙනාට ජනාධිපතිතුමා කිව්වා ඔයාලා නමක් යෝජනා කරන්න කියා. 16 දෙනා නම් කරපු කෙනාගේ නමට කැමැති වුණේ අපේ කණ්ඩායම් රැස්වීමේදී. නමුත් ඒක සාකච්ඡාවට ගැනුණේ නැහැ.

ඔබතුමාලා ස්වාධීන වෙනවද?

පාර්ලිමේන්තුවේ 96න් 70ක් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ. පොදුජන පෙරමුණේ ශ්‍රීල.නි.ප.යේ 82න් 70ක් ඉන්නේ ඒකාබද්ධයේ. ඒ නිසා අපට උරුම දේ තමයි කථානායකවරයා දෙන්නේ නැත්තේ. කථානායකවරයා අපෙන් විමසීමක් කරලා නැහැ.

පොහොට්ටුවේ සාමාජිකයන් දිගින් දිගටම මෛත්‍රිපාල සිරිසේන මහතා නිසා රැවටුණු බව ඔබ කිව්වා. එකකින් දෙකකින් පාඩම් ඉගෙන ගන්නේ නැතිව ඔබතුමාලා දිගටම රැවටිලා තියෙන්නේ, ඇයි එහෙම වෙන්නේ?

අපි රැවටුණේ නැහැ. සද් භාවයෙන් වැඩ කරන්න ගිහින් තමයි ඒක වුණේ. මෛත්‍රි මහත්තයා ඡන්දයෙන් පස්සේ කිව්වේ පක්ෂ සභාපතිකම දුන්නොත් පක්ෂය රැකගන්න පුළුවන් කියලා. මහින්ද මහත්තයාගෙන් පක්ෂය ඉල්ලුවා. මම මහින්ද මහත්තයට කිව්වා සර් පක්ෂය දෙන්න එපා කියලා. අපි සති දෙකක් ගුටි කයි. නැවත අපි පක්ෂයක් ගොඩනඟමු කියලා. මහින්ද මහත්තයා කිව්වේ ප්‍රසන්න පාක්ෂිකයන්ට ගුටි කන්න දෙන්න බැහැ එනිසා පක්ෂය මෛත්‍රිට දෙමු කියලා.

ඒ නිසාද පක්ෂ සභාපතිකම දුන්නේ?

සභාපතිකම දුන්නා නෙවෙයි. ඒ තරමට මෛත්‍රිගේ කණ්ඩායම බලපෑම් කළා මහින්ද මහත්තයට. එතුමට ඒ තරමට බලපෑම් කරලයි මෛත්‍රි මහත්තයා පක්ෂ සභාපතිකම ගත්තේ. මම ඒ තැන හිටියා නම් පක්ෂය දෙන්නේ නැහැ කවදාවත්.

අන්තිමට ආයිත් මෛත්‍රිපාල මහත්තයට මහින්ද මහත්තයා රැවටුණා?

රැවටුණා. මහින්ද මහත්තයා රැවටුණා. රැවටුණේ නැත්නම් එයාගේ ගෙදරට ඇවිත් කරඬුව අරගෙන ගිය කෙනා ඡන්දයට එනකම් දන්නේ නෑනේ. එයා විශ්වාස කළ නිසා තමයි ලේකම්කමේ තියාගත්තේ. මහින්ද මහත්තයා රැවටුණා. ඒකයි ඇත්ත කතාව.

-ප්‍රගීත් සම්පත් කරුණාතිලක-
මව්බිම

RSL

Related Posts