දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ

Spread the love

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කොටගෙන ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම නතර කර ගැනීමට දෙමළ ජාතික සන්ධානය කිසිවිටෙකත් ආණ්ඩුවට සහාය ලබාදෙන්නේ නැති බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ පසුගියදා මඩකළපුවේදී පැවැති එම පක්ෂ තරුණ සමුළුව අමතමිනි.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය.

දෙමළ ජනතාවට තවමත් සම්පූර්ණ නිදහස ලැබී නැහැ. නැඟෙනහිර පළාතේ දමිළ ජනතාව විවිධ මර්දනයට ලක්ව සිටිනවා. අපි ඒවා කතා කළාම ඇතැමුන් අපට ජාතිවාදීන් කියනවා. ඉඩම් ආක්‍රමණය කිරීම රජය පමණක්ම සිදු කරන්නේ නැහැ. එය විවිධාකාරයෙන් සිදු වෙනවා. නැඟෙනහිර පළාත් දමිළ ජනතාව සඳහා නිවැරැදි මඟ පෙන්විය හැක්කේ ඒ පළාතේ තරුණයන්ට විතරයි.

දමිළ ජනතාවගේ ගැටලු දෙස බැලීමේදී දෙයාකාරයකට ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එදිනෙදා ජීවත්වන ප්‍රශ්න මෙන්ම ඔවුන්ගේ පරමාධිපත්‍ය පිළිබඳව ඇති වන ප්‍රශ්න මේ දෙවර්ගයයි. මේ ප්‍රශ්න දෙවර්ගය පිළිබඳවම තරුණයන්ගේ අවධානය යොමු විය යුතුයි. ආයුධ ගෙන ඒවාට විසඳුම් සොයන්නැයි එයින් අදහස් කෙරෙන්නේ නැහැ. එවැනි පරිසරයක් නැවත නිර්මාණය වන්නේ නැහැ.

දෙමළ ජාතික සන්ධානය පිළිබඳව විවිධ අදහස් පළ වෙනවා. අප සන්ධානය ගැන සිංහල පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වන අදහස්වලට වඩා දමිළ ජනතාවගේ පාර්ශ්වයන් අදහස් දක්වමින් සිටිනවා.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව සමඟ එකතු වෙනවා යැයි කවුරුත් ඇඟිල්ල දික් නොකළ යුතුයි. පසුගිය වසර තුනේදී ආණ්ඩුවට සහාය ලබාදීම නිසා අපට උතුරේ ඉඩම් නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබුණා. අතුරුදන්වූවන් වෙනුවෙන් කාර්යාලයක් ස්ථාපිත කෙරුණා. එයට විදෙස් විනිසුරුවන් පත් කළ යුතු බව අප ඉල්ලා තිබෙනවා. අප සන්ධානයේම ඇතැම් පිරිස් සිදු කරනු ලබන ප්‍රකාශ පක්ෂයට විරුද්ධව කරුණු ගොඩනැඟීමට ඉවහල් වෙලා තිබෙනවා. උතුර නැඟෙනහිර පළාත්වල ජනතාව වන අපට තවමත් සම්පූර්ණ නිදහසක් ලැබී නැහැ. ඒ බව ජනතාව විසින් ප්‍රකාශ කරන විට අපගේ ඇතැමුන් ඊට විරුද්ධ අදහස් පළ කරමින් සිටිනවා. අප වත්මන් ආණ්ඩුවට සහාය ලබා දුන්නේ පිටත සිටයි. අපි සිතුවා නම් අපට ඇමැති ධුර පවා ලබා ගැනීමට තිබුණා.

ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් සකස් කිරීමට උත්සාහ කරන්නේ එක් පක්ෂයක එක් මන්ත්‍රිවරයකු ඒකාබද්ධ කරගෙනයි. එය ආණ්ඩුවේ ස්ථාවරයයි. ඒත් එයට දෙමළ ජාතික සන්ධානය කිසිවිටෙකත් සහාය ලබා දෙන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානය ඇමැති ධුර ලබා ගන්නේ නම් කුමක් සිදුවන්නේ දැයි යන ගැටලුව දමිළ ජනතාව මධ්‍යයේ පැන නැඟී තිබෙනවා. එලෙස ඇමැති ධුර ලබා ගතහොත් විවිධ කරුණු ඉටු කර ගත හැකිය යන මතයෙහිත් ඔවුන් සිටිනවා. නමුත් අපට අමාත්‍ය ධුර භාරගත නොහැකියි.

දෙමළ ජාතික සන්ධානය තවමත් කටයුතු කරනු ලබන්නේ ඉතා අවබෝධයෙනුයි. ජාතික ගැටලුවට විසඳුමක් ලැබිය යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ යෝජනා ක්‍රියාත්මක විය යුතුය යන දැඩි ස්ථාවරයේ අපි සිටිනවා. එසේම ජාතික ගැටලුවට විසඳුමක් ලැබිය යුතු යන ස්ථාවරයේ සිටිනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල යෝජනා ක්‍රියාත්මක නොකර සිටීමට ආණ්ඩුවට අපගේ සහාය ලබා දෙන්නේ නැහැ.

-මව්බිම-

RSL

Related Posts